Devdas (2002) Hindi | Sinhala Article

Devdas (2002) Hindi by Anushka Rasanjana Desilva

20 වසරක ආදරණීය ආමන්ත්‍රණය – Devdas ❤️

සංජය ලීලා බන්සාලි නම් බොලිවුඩයේ මහා සිනමා නිර්මාණකරුවාගේ සිනමා දිවියේ සංධිස්ථානයක් විදියට සලකන්න පුළුවන් ‘දේව්දාස්’ චිත්‍රපටය නිකුත් වෙලා අදට අවුරුදු 20ක් ගතවෙනවා. එදත් අදත් එක ලෙසින්ම හදවතට සමීප වුණු බොලිවුඩ් ප්‍රේමණීය චිත්‍රපටයක් වුන දේව්දාස් ගැන වසර කිහිපයකට පෙර අකුරු කල සටහන , චිත්‍රපටයේ 20 වන සංවත්සරය හේතුවෙන් සංස්කරණය කර යළිත් මෙසේ දිගහරින්නෙමි.

“මං පොරොන්දු වෙනවා,මැරෙන්න මොහාතකට කළින් එක සැරයක්,ඔයාගේ දොරකොඩට එනවා කියලා”

ඔහු ඇයට දුන් පොරොන්දුව නිසාම ජීවිතයත් මරණයත් අතර අවසාන සටන ඇයගේ දොරකඩ ළඟට රැගෙන ඔහු පැමිණෙන්නේය.සිරුර තමන් ළඟ තබාගෙන මුළු ආත්මයම ඔහුට පූජා කල ඇයට ඔහුගේ ආමන්ත්‍රණය කල් තියා ඇසුනද ⁣ඔවුන්ගේ දෛවය අවසාන මොහොතෙත් ඔවුන්ට සරදම් කරන්නට විය.ඒ ඇයගේ අතින් පහනට තෙල් වැටෙන අවසන් මොහොතයි.රතු පැහැති විශාල තිර රෙදි සුළඟට ළෙල දෙන්නේ විනාශයක,අවසානයක පෙරනිමිති කියා පාමින්ය. අවසානයේදී ඇයට, ඔහු සිය පොරොන්දුව ඉටු කල වග දැන ගැනීමට ලැබේ.විවාහයට පෙර රුධිරයෙන් සින්ධූර තවරා තම ආත්මය දෙපා මුල පූජා කල ඇයගේ සැබෑම හිමිකරු වු ඔහු පැමිණ ඇති බව ඇය අවසානයේ දැනගනී.ඒ සමඟම කෝපයෙනුත් ශෝකයෙනුත් රතු පැහැ වන ඇයගේ දෙනෙත් මෙතෙක් සඟවා සිටි කදුළු බිදු එකින් එක අත් හරින්නට විය.ඇය සැරසී සිටින රතු වර්ණයෙන් මායිම් වු සුදු සාරිය සංකේතවත් කරන්නේ ඔවුන්ගේ වන්දනීය ප්‍රේමයම නම් දැන් එ් ප්‍රේමය සුළඟත් සමඟ පොරබදින්නේ විනාශයක පෙරනිමිතිද පෙන්වමින් වෙයි.

අවසානයේ ඇය දිව යන්නාය..තමන්ගේ මුළු ගතෙහිම ශක්තිය පාද වලට යොදා සිය ආත්මය සමඟ සංස්පර්ශ වීමට ඇය පියගැට පෙළ බැස ⁣ශ්වේත වර්ණ පොළවේ රක්ත වර්ණයෙන් පා සටහන් තබා දිව යන්නාය.දිව යන ඇයව නිවසේ සියළු දෙනා නැවැත්වීමට වෙර දැරුවද ඇය සියළු බාධක හැර දිව යන්නාය. බොඳ වු ඇයගේ රුව ඇදෙන අයුරු,රතු මල් ගස යට වැතිර සිටින ඔහු දකින අතර එක්වරම ඔවුන් දෙදෙනා අතරට මන්දිරයේ විශාල ද්වාරය හරස් වෙයි.දෙදෙනාට දෙදෙනා පෙනී පෙනී මන්දිරයේ ගේට්ටු වැසෙනවාත් සමඟම ඇය දැල්වූ පහනද නිවී යයි.

දේවා….!!

පාරෝ….!!

කිසිවක් කරකියා ගත නොහැකිව ඇය,කොපුල් පුරා ඇදවැටෙන කදුළු බිදු මෙන් ඉදිරිපස ද්වාරය දිගේ ඇදවැටෙන්නාය.

SANJAY LEELA BHANSALI

FILM

මේ තමයි බොලිවුඩයේ බන්සාලි සිනමා සිය ලකුණ සනිටුවහන් කල සංජය ලීලා බන්සාලිගේ “DEVDAS” සිනමාපටයේ අවසාන දර්ශනය දිග හැරෙන අාකාරය.

1917 දී ප්‍රකාශයට පත්වන සරත්චන්ද්‍ර චැටර්ජි අතින් ලියවෙන Devdas නව කතාව බෙංගාල සාහිත්‍යයට එකතු වු ප්‍රේමණීය නවකතාවක් වනවා.මේ නවකතාව ඉන්දියානු සාහිත්‍යයේ නූතන යුගයේ රාධා-ක්‍රිෂ්ණා ,රාම-සීතා ,ලයිලා-මජ්නු ප්‍රේම කාව්‍යයක් ලෙස හදුන්වන්න පුළුවන් .දේව්දාස්-පාර්වතී-චන්ද්‍රමුඛී නම් ප්‍රධාන චරිත 03 වටා දිවෙන Devdas නවකතාව හින්දි භාෂාවෙන් මෙන්ම තෙළිඟු,ද්‍රවිඩ,බෙංගාලි භාෂා වලින් මෙන්ම බංගලාදේශය හා පකිස්තානය යන රටවලද සිනමාවට නැඟී ඇති අපූරු ප්‍රේම කතා පුවතකි.

සංජය ලීලා බන්සාලිට පෙර 1936 හා 1955 දි Devdas හින්දි භාෂාවෙන් රිදී තිරයට ගෙන ඇවිත් ඇති අතර 1955 දී බිමල් රෝයි විසින් අධ්‍යක්ෂණය කරන Devdas චිත්‍රපටයේ දේව්ගේ චරිතයට පණ පොවන්නේ දිලීප් කුමාර් වෙයි. කිහිප වතාවක්ම රිදී තිරයේ දිගහැරෙන දේව්දාස් චිත්‍රපට අතරින් බන්සාලිගේ දෙව්දාස් හදවත් තුළ නොමැකෙන චිත්‍රපටයක් වීම⁣ට , බන්සාලිගේ අපූරු සිනමාකරණ ශෛලිය හේතුවක් වනවා.ඔහු චිත්‍රපටය තුළ යොදාගෙන ඇති සංඥා සංකේත, සිද්ධි හා වර්ණ භාවිතයන් හරහා බන්සාලිගේ දෙව්දාස් කියවීමටයි මේ සුදානම.

?දේවත්වය ආරෝපණය කිරීම

දේව්දාස් නවකතාව සරත්චන්ද්‍ර චැටර්ජි විසින් රාධා-ක්‍රිෂ්ණා කතා පුවත අාභාෂ කරගෙන ප්‍රබන්ධනය සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා.කිසිදා එක් නොවු එහෙත් අදටත් එකට එක යුවලක් සේ හදුන්වන අමරණීය පෙම් යුවලක් වන රාධා-ක්‍රිෂ්ණා ඉරණම දේව්-පාරෝ පුවතටත් පොදු වීම ඉහත කාරණාව සනාථ කරනු ලබනවා.

බන්සාලිගේ චිත්‍රපටියේ “morey piya” ගීතය තුළ රාත්‍රියේ විල අසල දේව්-පාරෝ රංගනය හරහා යමුනා නදිය අසල පෙම් කෙළින රාධා-ක්‍රිෂ්ණා යුවල අපූරුව ජීවමාන කිරීමට බන්සාලි සමත් වී තියෙනවා. පාරෝගේ ඇදුම් නිර්මාණයේදී දුර්ගා මැණියගේ වර්ණයත්,දේව්ගේ ඇදුම් වල වන පාරිශුද්ඨත්වයේ සුදු පැහැයත් දැක්වීම සරත්චන්ද්‍රයන්ගේ වෑයම තවත් වැඩිකර පෙන්වීමට බන්සාලි ගත් උත්සහයක් බව දැකිය හැකි වනවා. සල් ගස් දෙකක් යට සයනක සිදුවන ගෞතම බුද්ධ පරිනිර්වාණය හෝ කාව්‍ය නිර්මාණ වල දක්වා ඇති දෙවිවරු නිදන මල් සයනය සංකේතාත්මකව චිත්‍රපටය අවසානයට යොදාගෙන තිබෙන්නේ දේව්ගේ මියයාම සල් ගසක් යට සිදුවීමේ දර්ශනය හරහා වෙයි.

?පාරෝගේ පහන

Shreya Ghoshal මියුරු හඬින් ගැයෙන ‘Silsila ye chahat ka’ ගීතය අරුත් ගන්වන අයුරින්ම පාරෝ දල්වන පහන් සිළුව අර්ථ ගන්වන්නේ දේව්ගේ ආදරය වෙයි.

“මොනතරම් රළු වුවත් මේ වර්ෂාව,මේ චණ්ඩ මාරුත,මේ අකුණු….නුඹ නිවා දමනු නොහැකිය…”

පාරෝගේ පහන් සිළුව ඇයගේ කුල ගෙයද ආලෝකමත් කලේ නිවස තුළ අන් ආලෝකයකට ඉඩ නැති ලෙසම ඇයගේ ආත්මය දේව් හැර අන් අයෙක්ට අයිති නැති වග හගවමින් වෙයි. අවසන් හුස්මත් සමඟ පොර බඳින දේව් ඇය දිව එන අයුරු යන්තමින් දුටුවද ගේට්ටුව වැසී යයි…

දේවා…!

පාරෝ…!

දුර ගෙවා ඇයගේ දොරකඩට ඔහු පැමිණියත් ඔහුත් ඇයත් අතර ඇති ද්වාර බාධකය ඔවුන්ට හරස් වෙයි.ඔවුන් අතර හරස් වු එකම ද්වාරය එය පමණක් නොවන අතර එදා දේව්ගේ ⁣දෙමාපියන් ද්වාරයක් ලෙසද පසුව භුවාන් චෞද්‍රි හා ඔහුගේ පවුල ද්වාරයක් ලෙසද ඔුන්ට හරස් වෙන්නේ ප්‍රේමයේ අයිතිවීම අහිමි කරවමින් වෙයි.හිමි වීමක් නැති ආදරයේ අවසානය එසේ වෙද්දි ලෝකයා සමඟ කල සටනින් පැරදි දේව් අවසන් හුස්ම හෙලන අතර පහන් සිළුවද එවිට නිවී යයි..

?සඳ නැගෙන මොහාතේ දේව් පාරෝ දැකීමට පැමිණීම

ඕ දේවා…..!

ඕ දේවා…..!

වසර 10කට පෙර දේව් ලන්ඩන් බලා යාමට කරත්තයේ නැගී පිටව යන අවස්ථාවේ පාරෝ බොරළු ගොඩේ කකුල් තුවාල වන තුරු දිවයන්නේ එලෙස කෑ ගසමින්ය.වසර 10කට පසු නැවත පැමිණෙන දේව් පාරෝ හමුවීමට පැමිණියත් ඇය ඔහුට ඇයගේ මුහුණ නොපෙන්වා ඇයගේ මුහුණ බැලීමට සඳ නැගෙන රාත්‍රියේ පැමිණෙන ලෙස ඇරයුම් කරයි.

“⁣හඳටවත් නැති මෙච්චර ආඩම්බරකමක්?”

“හඳ කොහොම ආඩම්බර වෙන්නද,හඳේ ලප තියෙනකොට”

එසේ පවසා පිටව යන දේව් වසර දහයක⁣ට පසුව ඇයගේ මුහුණ දැකීමට රාත්‍රියේ පැමිණෙන මෙහොත,චිත්‍රපටයේ වඩාත් ප්‍රේමණීයම හා කාව්‍යකට වෙනමම පෙරළිය හැකි විනාඩි කිහිපය එයයි. රා⁣ගයේ වර්ණය හෙවත් දම් පැහැ වර්ණ දරා සිටින වීදුරු වලින් වට වු මණ්ඩප⁣ය මැද ඇයද දම්පාට සාරියකින් සැරසී දෑස් පියාගෙන ඔහු එනතුරු බලා සිටින්නාය.තවමත් සඳ නැඟ නැති මණ්ඩපය ආලෝකමවත් වී ඇත්තේ පාරෝගේ පහන් සිළුව නැත්නම් දේව් වෙනුවෙන් දැල්වුණු ප්‍රේමයේ පහන්සිළුවෙන් වෙයි.

ඉන්පසු මණ්ඩපයට එක් පසකින් සඳ ද අනෙක් පසින් දේව් ද සෙමෙන් සෙමෙන් මණ්ඩපයට පියවර තබන්නේය.සෙමෙන් සෙමෙන් පාරෝ අසලට පැමිණ ඇයගේ මුහුණ දෙසට පාත්වන ඔහු ඇයගේ මුහුණට වැටී ඇති කෙස් රොද මුවින් පිඹ ඉවත් කරයි.සඳ එළියෙන් බබලන ඇයගේ මුහුණ දෙස බලාසිටින ඔහු පහන් සිළුව නිවා දැමීමට සැරසෙයි.පහන් සිළුව මත අත් අල්ල තැබූ වහාම ඇය ක්ෂණයෙන් ඇයගේ අත ඔහු අත මත තබා ඔහුව වලක්වාලයි.

චිත්‍රපටයේ මේ දර්ශනය හරහා තවත් ව්‍යාංගාර්ථවත් සිදුවීමක් බන්සාලි අපූරුවට නිර්මාණකරණය කර තිබෙනවා දකින්නට පුළුවන්.කොතෙක් එළිය දෙන පුන්සඳක් පායා ආවද ඇයට අවැසි එකම ආලෝකය ඒ පහන් සිළුවේ ආලෝකය පමණි.එනම් දේව්ගේ ප්‍රේමය පමණක්ම ඈ පතන්නාය. එසේම එතන සිදුවන පහන් සිළුව නිසා දේව්ගේ අත් අල්ල පිලිස්සීමේ සිදුවීම හරහා ඔහුගේ ආදරයෙන් ඔහුම දැවී යාම බන්සාලි මනාව ව්‍යාංගාර්ථවත් කර ඇති බව කියන්න පුළුවන්.එය චිත්‍රපටයේ අවසානය ගැන යම් ඉගියක් සපයන අවස්ථාවක් , නැත්නම් forshadowing අවස්ථාවක් ලෙස අපට හදුන්වන්න පුළුවන් . පසුව පහනින්, දැවී ගිය තෙල් බිදුවක් ඇඟිල්ලකට ගන්නා ඔහු එයින් ඇයගේ දෙතොලෙහි කළු තිලකයක් තබා පිටව යයි.සඳද එබිකම් කර බැලූ පාරෝගේ සුන්දරත්වයට ඇස්වහ වැදීම වැළැක්වීම දැක්වන ඒ සිදුවීම හරහා බන්සාලි විසින් පෙම්වතෙක් සිය ප්‍රේමය ගැන දක්වන ආත්මාර්ථකාමී හැඟීම ඉස්මතු කර තිබෙනවා විය හැකිය. දම් පැහැ ජවනිකාව පසු පසින් ඇසෙන මියුරු සංගීතයද මුසු කළ කල ආදරය නොවිඳපු හදවත් වලටද පෙම් හැගුම් දනවන්න බන්සාලි නම් සිනමාකරුවා සමත් වී ඇත.

?පා⁣රෝ-දේව් විවාහය

පාරෝ,භුවාන් චෞද්‍රි විවාහ කර ගැනීම⁣ට පෙර රාත්‍රියේ දේව් පාරෝ වෙත පැමිණෙයි.දේව් තමන්ව හැර ගිය කෝපයෙන් සිටින ඇය මවගෙත් ඇයගෙත් ගෞරවය වෙනුවෙන් ගත් තීරණය වෙනස් නොකරන මතයෙම තරයේ සිටින්නාය. දේව් අසරණ වන ඒ මෙහොතේ ඒ දෑස් වල ඇත්තේ කැඩී බිඳී යන ප්‍රේමයක වේදනාවක් පමණි.එක්වරම පාරෝ අත ඇති මුතු මාලය අතට ගන්නා දේව් ඉන් ඇයගේ මුහුණේ කැළලක් ඇති කරවයි.ඒ ඔවුන්ගේ ආදරයේ සලකුණයි.ඉන් ගලන රුධිරයෙන් සින්ධූර් ගල්වන දේව් ඉන් අගවන්නේ ඇය අන් අයෙකු සමඟ විවාහා වුවද ඇයගේ ආත්මයේ සැබෑ හිමිකරු ඔහුම පමණක් වන බවය.මේ රුධිරයෙන් කරන සංකේතාත්මක සිදුවීම හරහා සංසාරික ප්‍රේමයක ආත්මගත බන්ධනය සංකේතවත් කරවයි.

?පාරෝ-දේව් අවසන් හමුවීම හා අභිනික්මනය

දේව්ගේ ⁣පියාගේ මරණය ආරංචි වී නිවසට පැමිණෙන දේව් නැවත පිටව යාම වැළැක්වීම⁣ට පාරෝ දේව් හමුවීමට පැමිණෙයි.ඒ ඔහුට ආදරය කල පාරෝ ලෙස නොව,කුඩා කල සිටි මිතුරිය ලෙසය.ඒ බව හැගවීමට බන්සාලි යොදාගන්නේ විශාල කහ පැහැති තිර රෙදි වෙයි. වටපිටාවේ සියළු භාණ්ඩ සුදු රෙදි වලින් වසා දේව්ගේ හිස්වු අපිළිවෙල ජීවිතය ව්‍යාංගාර්ථවත් කරද්දී ඒ අතරින් වු කුඩා මංජුසාවක,පාරෝ-දේව් ළමා කාලයේ මතකයනුත් ඔවුන්ගේ වෙන්වයාමේ මතකයනුත් ඉතිරිව ඇති බව දේව්,පාරෝ හට පෙන්වයි.

“මං පොරොන්දු වෙනවා, මැරෙන්න මොහොතකට කළින් එක සැරයක්, ඔයාගේ දොරකොඩට එනවා කියලා”

අන්තිම හුස්මත් අරන් ඇය හමුවීමට වන පොරොන්දුව සමඟ දේව්ට ඊළගට නිවසද අත්හැරීමට තීරණය කර සිය අභිනික්මනය සිදු කරයි.

“තාත්තා කිව්වා,ගම අත්හරින්න කියලා.හැමෝම කිව්වා,පාරෝව අත්හරින්න කියලා.පාරෝ කිව්වා,මත්පැන් අත්හරින්න කියලා.අද ඔයත් කිව්වා,ගෙදර අත්හරින්න කියලා.දවසක් ඒවි,එදාට දෙවියන් කියාවි,ලෝකෙත් අත් හරින්න කියලා.”

එයයි දේව්දාස් කතා පුවතම දෙබසකට කැටි කල මොහොත.එයයි පාරෝගේ මව සපථ කල දේව්ගේ විනාශයේ දිග පළල හගවන මොහොත.දැන් සැබෑවටම අත්හැරීමට ඉතිරිව ඇත්තේ ජීවිතය පමණක් බව දේව් හඟවන මොහොත එයයි.

?චන්ද්‍රමුඛිගේ කැඩපත බිදී යාම හා හරිත වර්ණ නැටුම

මුල් වරට දේව්,චුනනි බාබු සමඟ චන්ද්‍රමුඛිගේ මැදුරට පැමිණෙන අවස්ථාවේ ඇය ඔහු දකින්නේ තමන් ඉදිරියේ ඇති කැඩපතින්ය.ඇය එක්වරම හැරී ඔහු දෙස බලන විට ඇයගේ කෙස් කළඹ වැදී කැඩපත බිඳී යයි. චන්ද්‍රමුඛිගේ චරිතය වෛශ්‍යාවකගේ චරිතයක්.නමුත් ඇය ⁣ඇයගේ ගෞරවයට මිල නියම නොකරයි. ඕනම අයෙක්ට තමන්ට තමන් හමුවන්නේ කැඩපතක් ඉදිරියේදිය. චන්ද්‍රමුඛිද කැඩපතින් දකින්නේ එක් වෛශ්‍යාවක් පමණි.නමුත් ඔහු ඇයගේ මැදුරට ඇතුල් වීමත් සමඟ කැඩපත බිදී යන්නේ තව දුරටත් ඇය දුටු ඇය ඇය නොවන බව අගවමින්ය. එය සැබෑවක් වෙන්නේ ඇය ඔහුට ආදරය කිරීමට පටන් ගත් පසුය.

“Maar daala” ගීතයේ චන්ද්‍රමුඛි කොළ පැහැ ඇදුම්න් සැරසී කරන රංගනය දේව් වෙනුවෙන්ම කරන නර්ථනයක් වෙයි.කොළ යනු නැවත පිබිදීමේ,නැවත ප්‍රාණවත් වීමේ වර්ණයයි. දේව් නිසා ඇයගේ ජීවිතේ නැවත පිබිදීම නැත්නම් වෛශ්‍යාවක් ප්‍රේමවන්තියක් වන පරිවර්තනය මෙම ⁣හරිත වර්ණ නැටුමෙන් බන්සාලි අරුත් ගන්වා තිබෙනවා විය යුතුය.

නමුත් පාරෝගේ ආදරයෙන් උතුරා යන දේව්ගේ හදවත නම් වීදුරුව තවත් පිරවිය නෙැහැක. ස්පර්ශයට පවා තහංචි දැමු චන්ද්‍රමුඛි-දේව් ආදර කතාව තවත් එ්ක පාර්ශවික ආදරයකි. ඇය වෙනම කුටියක දේව්දාස් ව දෙවියන් කොට සලකා වන්දනා කරන්නේ ඔහු කෙරේ ඇති අසීමිත ආදරය නිසාය.අවසානයේ ඇය ඉල්ලන්නේ ඇයව දේව්දාසි කර ගැනීමටය.එතරම් ප්‍රේමයක් දේව් කෙරෙහි තබාගෙන වෛශ්‍යාවකගේ රාගය ගැහැනියකගේ ආදරය බවට ඇය පෙරලාගන්නාය.

තමන් වෙනුවෙන් එතරම් ප්‍රේමයක් භක්තියක් ඇති චන්ද්‍රමුඛි හට අවසානයේ දේව් ආදරය ප්‍රකාශ කරයි..එ් ඔහු තුල ඇති මහත්මාගතිය පෙන්නුම් කල අවස්ථාවක් සේ සැලකිය හැක.

?රක්ත වර්ණ ජවනිකාව

Devdas කීව සැණින් අපට මතකයට නැගෙන්නේ රතු පැහැයයි. විශේෂයෙන්ම අවසන් ජවනිකාව රක්ත ජවනිකාව ලෙස හැදින්විය හැක. පාරෝ පහනට තෙල් දමන විට පිටු පසින් ඇති විශාල තිර රෙදි රතු පැහැතිය. ඇය සැරසී සිටින්නේ රතු පැහැ තීරුවකින් මායිම් වු සුදු සාරියකින්ය. ඒ වර්ණ දෙකෙන් යුතු සාරිය දේව්-පාරෝ ආදරය නිරූපණය කරයි. ඇයගේ මුහුණේ විශාල රතු තිලකය, හිසෙහි සින්ධූර් මෙන්ම විවාහයට පෙර දේව් සලකුණු කල රුධිරය ගැලු කැළලත් පාදායේ මෙහෙන්දි වලින් ඇදි රේඛාත් සියල්ල රතු පැහැමය.

ඇය දිව යන්නේ රතු පැහැ කෝලම් ඇදි පොළොවෙහිය. එසේ දිව යන්නේ රතු පැහැ මල් මත වැතිර සිටින දේව් සොයාගෙනය.අවසානයේ ඔවුන්ට හරස් වන ගේට්ටුවද රතු පැහැතිය. මෙලෙස රතු පැහැය බන්සාලි යොදාගෙන ඇත්තේ රතු යනු ආදරයේ මෙන්ම විනාශයේ වර්ණය නිසාම වේ.. තවද පාර්වතීට කියන තවත් නමක් වන දුර්ගා මෑණියට ආවේණික වර්ණයද රතුම වන නිසා යැයි පැහැදිලි වෙයි.මෙහිදී දේව්ගේ ඇදුම් වලට ලා වර්ණ,බොහෝ අවස්ථාවල සුදු පැහැය යොදාගෙන ඇති බව දක්නට ලැබේ.

පාරෝ හට රතු පැහැයත් දේව් හට සුදු පැහැයත් ආරෝපණය කර අවසාන දර්ශනය සුදු රතු අතර දෝලනය කරවන බන්සාලි වෛරය හා ශක්තියද වර්ණ වලින්ම ගෙන හරපාන අතරම දේව්-පාරෝ ප්‍රේමය වෙනුවෙන් වන අවසාන සටන ප්‍රේක්ෂකයාගේ දෑසට කදුලක් නංවන අයුරින් ගෙන ඒමට බන්සාලි සැබැවින්ම සමත් වී ඇත…

                                            ◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾

දේව් ලෙස ෂා-රුක් ඛාන් ද පාර්වතී ලෙස අයිෂ්වර්යා රායි බච්චන් ද චන්ද්‍රමුඛි ලෙස මාදුරි ඩික්සිත් රංගනයෙන් දායක වන චිත්‍රපටයේ ෂාරුක්ගේ ප්‍රබල රංගනය චිත්‍රපටය පුරා තිබුනද ඉන් ප්‍රබලම කොටස දේව් දෙවියන් හමුවේ තමන් විසින් තමන්වම විනිශ්චය කර ගන්නා කොටස ලෙස කිව හැකිය. එමෙන්ම ආයිෂ්වර්යා⁣ගේ ප්‍රබලම කොටස “Bairi piya” ගීතයේදී අභිනයන් හා අංග රචනයන් මනාව එහි ඉස්මතු කර පෙන්වයි.

චිත්‍රපටයේ සංගීතය ගැනද කතා කල යුතුමය.. Ismail Darbar සමඟ Monty sharma සංගීත අධ්‍යක්ෂකණය යටතේ හැඩවන චිත්‍රපටයේ සංගීතය නොතිබුණා නම් ⁣දේව්දාස් මෙතරම් හදවතට සමීප නොවන්නට තිබුණා. Shreya Goshal ගායනයෙන් දායක වන කුළුදුල් චිත්‍රපටය වන දේව්දාස් හරහා ඇය නවක ගායන ශිල්පිනියක් ලෙස එදා විශිෂ්ඨ හරඹයක් සිදුකර ඇති බව පෙනෙන්නට ඇත. එම වසරේ ඉන්දීය ජාතික සම්මාන ,ෆිල්ම් ෆෙයා සම්මාන ඇතුළු සෑම සම්මාන උළෙලකම පාහේ ප්‍රධාන සම්මාන සියල්ල ලබා ගැනීමට බන්සාලිගේ Devdas සමත් විය…

ඕ දේවා….. ! ඕ දේවා….!

මේ සම්මානනීය සිනමා කාව්‍ය රසවිඳි හදවත් සියල්ලගේම තවමත් ඒ හඬ දෝංකාර දෙනවා නොඅනුමානය.

Release date: July 12, 2002 (India)
Adapted from: Devdas
Distributed by: Eros International
Music composed by: Ismail DarbarBirju MaharajMonty Sharma

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *