Dear Friend (2022) Malayalam by Himashi Indrachapa
සමහර මිනිස්සු ඉන්නවා ජීවිත කාලයක් පුරාවට අමතක නොවෙන මතක අපට අරන් ඇවිල්ලා ඒ මතක ගොන්නට තවත් ලස්සන මතක එකතු කරන ගමන් මියෙන තුරාවට අපිත් එක්කම ජීවත් වෙන. ඒත් සමහරක් දෙනෙක් අපට ජීවිත කාලයකටම හරියන්න ලස්සන මතක දීලා අපටත් හොරෙන් අපේ ජීවිත වලින් සදහටම යනවා.මේක එහෙම කතාවක්.
විනෝද්, ජන්නත්, අර්ජුන්, සජිත්, ශ්‍යාම් හා අමුදා. මේ එකම ගෙදරක, එහෙමත් නැත්නම් බෝඩිමක ඉන්න යාළුවෝ පිරිසක්. මට දැනුන, මට හිතුන විදියට විනෝද් තමයි මේ හැම කෙනෙක්ටම ඒ බෝඩිමේ හිටපු වැදගත්ම කෙනා. විනෝද් ළග හැමෝගෙම ප්‍රශ්නවලට විසඳුම් තිබුණා. හැමෝටම ඇතිවෙන්න ආදරේ තිබුණා. කොටින්ම මේ හැමෝම එකට තියාගන්න පුළුවන් මැජික් එකක් විනෝද් ළඟ තිබුණා. ඒත් එක දවසක් හැමෝගෙම ජීවිතවලට ආදරය අරන් ආපු විනෝද් හිටි හැටියෙම අතුරුදහන් වෙනවා. ඉතින් විනෝද්ට මොකක් වෙන්න ඇති ද ඇත්තටම ? බෝඩිමේ හිටපු අනිත් අයට විනෝද් අතුරුදහන් වුණාම ඊට පස්සේ මොනවා වෙන්න ඇති ද ?
ශාර්ෆු, සුහාස් හා අර්ජුන් ලාල්ගේ තිර රචනයෙන් හැඩ වුණු, විනීත් කුමාර් අධ්‍යක්ෂණය කරපු ” Dear Friend “ චිත්‍රපටයේ ආරම්භය තමයි ඒ.මෙම වසරේ ජුනි 10 තිරගත වූ මෙහි නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ ශයිජු කාලිඩ්, සමීර් තාහිර් හා ආශික් උස්මාන්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය සිදු කරලා තිබෙන්නේ ජස්ටින් වාගීශ්.
අර හැමෝගේම හිත් හොරා ගත්තු ආදරණීය හොරා විනෝද් තමයි ටෝවීනෝ තෝමස්. හැමදාම වගේ ඔහුගේ පෙනුමත් හරිම ආදරණීයයි මෙතනදීත්. මෙම වසරේ මුලම හැමෝගෙම හිත් ආදරයෙන් පුරවපු “Hridiyam” හි දර්ශනා නොහොත් සැබෑ නමින් කියුවොත් දර්ශනා රාජේන්ද්‍රන් මෙහි “Hridiyam” තුළින් අපි දැකපු දර්ශනාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම වසරේ මුලම ටෝවීනෝ එක්කම එකතු වෙලා තවත් මහා කලබගෑනියක් කරපු “Minnal Murali” අධ්‍යක්ෂක බැසිල් ජෝශප්වත් අපට මෙහිදි වෙනස්ම චරිතයකින් මුණගැහෙන්න පුළුවන්. ඒ වගේම අර්ජුන් ලාල්, අර්ජුන් රාධාක්‍රිෂ්ණන්, සන්චනා නටරාජන් හා ප්‍රවීණ දමිළ හා මලයාලම් නිළි රේඛා හෙවත් සුමති ජෝශප් මෙහි අනෙකුත් චරිත තුළින් අප හමුවට එනවා.
ඉතින් සමහර ආදරණීයම මිනිස්සු අපේ ජීවිතවලට ඇවිල්ලා ලස්සන මතක ගොන්නක් අපට තෑගි කරලා අන්තිමට අපේ ජීවිත වලින් යන්නේ කියාගන්න බැරි හිස් හැඟීමක් ඉතරු කරලා. චිත්‍රපටය අවසානයේ දැනුණ ඒ හැඟීම ගැන මම වෙනවා මොනවා කියන්න ද ? ඔයත් බලලාම ඒක තීරණය කරමු.