Darbar (2020) Tamil 

Darbar (2020) Tamil

83% liked this film Google users

රජිනිකාන්ත් යනු කවරෙකු දැය් නොදන්නා දමිළ සිනමාලෝලියෙකු සිටිය නොහැකිය. දාශක 4 ක 5ක පමණ සිට දමිළ සිනමාවේ කොදුනාරටිය ඔහුය් දමිළ සිනමාවේ අනන්‍යතාව ඔහුය් දමිළ සිනමාව අද සිටින තත්වයේ වාණිජමය තත්වයෙන් පොහොසත් සිනමා කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමේ වැඩි ගෞරවයක්ද ඔහු සතුයි රජිනිකාන්ත් ගේ රංගන පිලිබඳ විමසීමේදී ඔහුට ඇත්තේ ඉතාම ආකර්ෂණීය හැඩකාර රංගන වින්‍යාසයකි එය ඔහුටම ආවේණික ආකර්ෂණීය රංගන වින්‍යාසයකි වර්තමාන තරු ගුණයෙන් යුතු රංගන ශිල්පීන් සියල්ලෝම පාහේ රජිනිකාන්ත් ගේ එම ආකර්ෂණීය රංගන වින්‍යාසයෙන් පන්නරය ලැබූවන් බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ එම නිසා රජිනිකාන්ත් යන රංගධරයා දමිළ සිනමාවේ ආධ්‍යාත්මයට කා වැදුණු සිනමා නලුවෙකු ලෙස හැදින්විම උචිතය . ඔහු රිදී තිරය තුල කිසිදා වයස් ගත වූවේ නැත නමුත් සාමාන්‍ය ජීවිතය තුල ඔහුගේ වයස සැගවූවේද නැත ඔහුගේ රංගනය තවමත් එදා පරිදිම ජව සම්පන්නය , හැඩකාරය , ආකර්ෂණීයය .
දමිළ සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් බදු රජිනිකාන්ත්ගේ නවතම සිනමාපටය ඉකුත් ජනවාරි මස තිරගත වීම ඇරඹිණ ඒ පෙරලිකාර රජිනිකාන්ත් ගේ ආකර්ෂණීය රංගන වින්‍යාසය නැවතත් රිදී තිරයට ගෙන ඒමේ AR Murugadoss ගේ ආයාසයේ ප්‍රථිපලයක් ලෙසිනි එය දමිළ සිනමාවේ අනන්‍යතාව වන මසාලා සිනමා ආකෘතියට අනුව නිර්මාණය කල වින්දනාත්මක පරිපූර්ණ වානිජ සිනමාපටයක් ලෙස අර්ථ ගැන්විය හැකි Darbar සිනමා වියමනය්

ආදිත්‍ය අරුණාචලම් දිල්ලි නගරයේ පොලිස් කොමසාරිස්වරයා වේ ඔහුව මත් උවදුර හා මිනිස් වෙලදාම මගින් පීඩිත මුම්බායි නගරයට කොමසාරිස්වරයා ලෙස පත්කර එවන්නේ එම මත් උවදුර හා මිනිස් වෙලදාම මුම්බායි නගරය මුදවා ගැනීම සදහාය ආධිත්‍ය අරුණාචලම් නම් පොලිස් නිලධාරියා මුම්බායි නගරය ඉන් මුදවා ගැනීමට අරඹන එම ක්‍රියාදමයන් නිසා අරුණාචලම් මුහුණ පාන සිද්ධීන් සමූහය Darbar හි කතාන්දරය වනවා

මෙම සිනමාපටයහි තිරපිටපත මසාලා සිනමා ආකෘතියට අනුව ඉතාමත් ගුණාත්මක සිනමා ආඛ්‍යානයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇත්තකි මෑත කාලීනව අප දමිළ සිනමාව තුල දුටුවේ බොහෝ විට මසාලා සිනමා ආකෘතිය ගෑවෙන නොගෑවෙන සේ තවරණ ලද හෝ ගුණාත්මක මසාලා සිනමා මූලධර්ම සීමිත ලෙස භාවිතා කල සිනමාපට වේ නමුත් Darbar හි තිර පිටපත මසාලා සිනමා මූලධර්ම බොහොමයක් ඉතාමත් සාර්ථකව යොදාගත් බවක් පෙනෙන්නට තිබුණි එම නිසා මෙම තිරපිටපත පිරිසිදු දමිළ මසාලා සිනමා ආකෘතියකට අනුව නිර්මාණය කල ඉතාමත් වින්දනාත්මක තිරපිටපතක් ලෙස අර්ථ ගැන්විය හැක

මසාලා සිනමාපටය ක් තුල සිනමාපටය හි ප්‍රධාන චරිතය වටා සිනමාපටය හි සෙසු චරිත සියල්ල නිර්මාණය වන බවක් දකින්නට හැකිය් එසේම සිනමාපටයහි වැඩි අවධානයක් යොමු විය යුත්තේ ද සිනමාපටයහි ප්‍රධාන චරිතය කෙරෙහි වේ Darbar තිරපිටපත මෙම සියලුම කරුණු කරපින්නා ගත් තිරපිටපතකි බොහෝ පිරිස් මෙය මෙම සිනමාපටයහි දුර්වලතාවක් ලෙස පෙන්වා දුන්නද ඔවුන් විසින් මසාලා සිනමාපටයක එම ප්‍රධාන සාධක නොමැති නම් එය මසාලා සිනමාපටයක දුර්වලතාවක් වනවා මිස එම සාධක තිබීම මසාලා සිනමාපටයක දුර්වලතාවක් නොවන සිතට ගත යුතුය

මෙහි සිදුවීම් පෙල ගැස්වීමද මෙහි තිර පිටපත් කරු AR Murugadoss විසින් සාර්ථකව සිදු කර ඇත සිනමාපටය හි සමහර දර්ශන සිනමාපටයට අනවශ්‍ය ලෙස එක්කර තිබුණද සෙසු දර්ශන සිනමාපටයහි හරයට ඉතාමත් සංවේදී ව නිර්මාණය කර ඇත එසේම මෙම තිරපිටපත තුල ප්‍රේමය , කුතුහලය , ත්‍රාසය , පියෙකු හා දියණියක ඇති බැදීම , හාස්‍ය රසය ආදී බොහෝ කරුණු සාර්ථකව ගැබ් කිරීමට Murugadoss මෙහිදී සමත්ව ඇත එසේම එම කරුණු තෘප්ත කිරීමට තිර පිටපත තුල උපයෝගී කර ඇති දර්ශන සමූහය ඉතාමත් නිර්මාණශීලී වේ

මෙහි චරිත නිර්මාණය පිලිබඳවද තිර පිටපත් කරුට පැසසිය යුතුය ආධිත්‍ය අරුණාචලම් චරිතය ඉතාමත් දරුණු සූක්ෂම , උඩගු හා විනෝදකාමී ප්‍රේමණීය චරිතයක් ලෙස නිර්මාණය කර ඇති අතර ඔහු සිදුකරන සෑම ක්‍රියාකාරකම කම එම සියලුම චරිත ලක්ෂණ මගින් ඇති කරන බලපෑම ගැබ්ව තිබෙනු දැකිය හැකිය එය පරිණත පරිපූර්ණ වානිජ සිනමා තිරපිටපත් කරුවෙකු ගෙන් බලාපොරොත්තු විය හැකි මට්ටමට ත් වඩා ඉහල ගුණාත්මක ශිල්පීය කුසලතාවකි එසේම මා ඉහතදී දැක්වූ පරිදි මසාලා සිනමාපටයක සෙසු සියලුම චරිත ප්‍රධාන චරිතය වටා නිර්මාණය වී තිබෙන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝ විට ප්‍රධාන චරිතය උදෙසා සිදුකරන බලපෑම අධික වුවද ප්‍රධාන චරිතය පරයා යන තරමේ ප්‍රතිභාවක් ඇති ලෙස එම චරිත නිර්මාණය කල නොහැකිය එම මුලධර්මය මෙහිදී සෙසු චරිත නිර්මාණය කිරීමේදී ඉතාමත් සාර්ථකව උපයෝගී කරගෙන ඇති බව මෙම සිනමාපටය නැරඹීමේදී පසක් වන කරුණකි

සමස්තයක් ලෙස මෙම සිනමාපටය හි තිරපිටපත තුල යම් යම් තාර්කික දුර්වලතා කිහිපයක් හදුනාගත හැකි නමුත් එම දුර්වලතා වානිජ මසාලා සිනමාපටයක දැකිය හැකි සාමාන්‍ය දුර්වලතා වේ එසේම මෙම තිරපිටපත තුලින් දිගහැරෙන්නේ වට්ටෝරු ගත සරල කතාන්දරයක් වන නමුත් කතාන්දරයහි විකාශනය ඉතාමත් නැවුම් සංකල්ප මත පදනම් ව ඇත එසේම මසාලා සිනමා ආකෘතිය ඉතාමත් සාර්ථක ලෙස ගුණාත්මක සිනමා ආඛ්‍යානයක් තුලින් භාවිතා කර ඇති අතර ඉතාමත් ආකර්ෂණීය ශිල්පීය ක්‍රම භාවිතා කර නිර්මාණය කර ඇති වානිජ වින්දනාත්මක සිනමා අත්දැකීමක් තෘප්ත කල හැකි ආකාරයේ තිර පිටපතක් ලෙස Darbar හි තිරපිටපත අර්ථ ගැන්විය හැක

AR Murugadoss විසින් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය සිදු කරන්නේ රජිනිකාන්ත් සමග සිනමාපටයක් නිර්මාණය කිරීමට තිබූ ඔහුගේ දිගුකාලීන බලාපොරොත්තුවක් සපල කරගනිමින් ය එසේම ඔහු සමස්තයක් ලෙස සාර්ථකව ඔහුගේ කාර්‍ය සිදුකර ඇති බව සිනමාපටය නැරඹීමේදී පසක් වන්නකි

AR Murugadoss පිලිබඳ ප්‍රසිද්ධ අගය කිරීමක් වන්නේ ඔහු දර්ශන නිර්මාණය කිරීමේදී දක්වන අපූරු විලාසිතාවය් මෙහිදී එම අපූරු දර්ශන නිර්මාණ විලාසිතාව හා රජිනිකාන්ත් ගේ අපූරු රංගන වින්‍යාසය එක්ව තිරය මත මවන්නේ සුලු පටු ආකර්ෂණීය භාවයක් නොවේ සිනමාපටය තුල සියලුම දර්ශන Murugadoss විසින් මෙවරත් සමස්තයක් ලෙස ආකර්ෂණීය ව සිදුකර තිබුනද සිනමාපටය හි දර්ශන කිහිපයක තාර්කික දුර්වලතා කිහිපයක් මතුව තිබෙනු දැකගතහැකි විය නමුත් එම දුර්වලතා සියල්ලම රජිනිකාන්ත් ගේ ආකර්ෂණීය රංගන ප්‍රතිභාව මගින් යටපත් කරනු ලැබිණ විශේෂයෙන් ක්‍රියාදාම දර්ශන වල මෙම දුර්වලතා බොහෝ බහුශ්‍රැති සිනමා විචාරකයන් මසාලා සිනමාපටයක එම තාත්ත්වික හා තාර්කික දුර්වලතා සාමාන්‍ය දුර්වලතා ලෙස අර්ථ ගන්වා උපේක්ෂා සහගත ලෙස සිනමාපටය විචාරය කල අතර සමහර සිල්ලර මෙන්ම පුලුල් සිනමා රසාස්වාදයක් නොමැති සිනමාපට අහුලමින් නරඹන සිනමා ප්‍රේක්ශකයන් එම දුර්වලතා පෙන්වමින් හා උපහාසයට ලක් කරමින් සිනමාපටය දුර්වල හරසුන් සිනමාපටයක් ලෙස මුග්ධ ලෙස හංවඩු ගැසූහ කෙසේ නමුත් මට පෞද්ගලිකව එම ප්‍රේක්ශක චෝදනා බැහැර කරන අතර එම දුර්වලතා සිනමාපටයහි රසවින්දනයට බාධාවක් නොවු බව පැවසීමට කැමත්තෙමි

Murugadoss විසින් මෙහි රංගන ශිල්පීන් මෙහෙයවීම ද ඉතාමත් විශිෂ්ට ලෙස සිදුකර තිබේ විශේෂයෙන් රජිනිකාන්ත් තුලින් නැවතත් රජිනිකාන්ත් ගේ ආකර්ෂණීය රංගන වින්‍යාසය විශිෂ්ට ලෙස මතු කර ගැනීමට Murugadoss මෙහිදී සමත්ව තිබුණි සෙසු රංගන ශිල්පීන් ද ඉතාමත් සාර්ථකව මෙහෙයවා තිබෙනු දැකගත හැකි විය

සමස්තයක් ලෙස AR Murugadoss විසින් මෙහි අධ්‍යක්ෂණය සාර්ථක ලෙස සිදුකර ඇති බව මාගේ අදහසයි කිහිප පිරිසක් මෙහි Murugadoss රජිනිකාන්ත් නැමැති සාධකයට සීමා වී ඇති බව පැවැසුවද මාගේ අදහස වන්නේ ඔහු සීමා වූයේ රජිනිකාන්ත් නැමැති සාධකයට නොව මසාලා සිනමා ආකෘතියට බවය් නිසියාකාරව මසාලා සිනමාපටයක් නිර්මාණය කරන සිනමාකරුවකු එම වියුහය තුලට සීමා වන බව ප්‍රකට කරුණකි මෙම සිනමාපටය තුල Murugadoss හටද එම කරුණ වලංගු වේ

මෙම සිනමාපටය තුල යමෙක් ඉමහත් උද්වේගය ට පත්වීමට මෙහි අධ්‍යක්ෂණය හා රජිනිකාන්ත් ගේ රංගනය යන සාධක හැරුණු විට යමක් වේ නම් ඒ කැමරාකරනය , සිනමාපට සංස්කරණය හා සංගීත අධ්‍යක්ෂණය ය් මෙහි කැමරා අධ්‍යක්ෂණය Santhosh Sivan විසින් සිදුකර ඇත ඔහු සැමවිටම ඉතාමත් සාර්ථක කැමරා අධ්‍යක්ෂකවරයෙකි මෙහිදී ද ඔහු ඉතාමත් සාර්ථක බව මාගේ විශ්වාසයය් සියලුම දර්ශන ඉතාමත් ආකර්ෂණීය ලෙස හසුකර ගෙන ඇති ඔහු විශේෂයෙන් ක්‍රියාදාම දර්ශන වලදි සිදුකර ඇති මෙහෙය ආකර්ෂණීය වේ මෙහි සිනමා සංස්කරණය Sreekar Prasad විසින් සිදු කර ඇත ඔහු සිනමාපටයහි සමහර සිද්ධීන් වලදී සංස්කරණය මද බවක් පෙනුනද සමස්තයක් ලෙස ඔහුගේ කාර්‍ය අපූරුවට සිදුකර තිබුණි විශේෂයෙන් ක්‍රියාදාම දර්ශන වලදී ඉනුත් අවසන් ක්‍රියාදාම දර්ශනය සංස්කරණය උදෙසා ඔහු දැක්වූ ශිල්පීය කුසලතාව අගනේ වේ

මෙහි සංගීත මෙහෙයවීම සදහාද උපරිම පැසසුමක් ලබා දිය යුතුය Anirudh Ravichandar විසින් සිදු කල ඒ උද්වේගකර සංගීත සංයෝජනය මා දේවි ශ්‍රී ප්‍රසාද් නැමති සංගීතවේදියාගේ සංගීත සංයෝජනයකින් පසුව අත්විදි අපූර්වතම මසාලා සිනමාපටයක සංගීත සංයෝජනය ලෙස හදුන්වා දිය හැක Anirudh මෙහිදී කෙතරම් සාර්ථකද යත් ඔහු සැමවිටම සෑම දර්ශනයකම ප්‍රේක්ශකයා සිනමාපටය හා ඇදබැඳ තබන අතර සිනමාපටයහි සමහර උච්චතම අවස්තාවලදී ඔහු ගේ සංගීත ප්‍රතිභාව හේතුවෙන් ප්‍රේක්ශකයා නිරායාසයෙන්ම ඉදහුන් ආසනයෙන් නැගිට්ටවෙය් සමස්තයක් ලෙස මෙහි ගීත විශේෂයෙන් පසුබිම් සංගීත සංයෝජනය ඉතාමත් කදිමට නිමවීමට අනිරුද් මෙහිදී සමත් ව ඇති බව අවිවාදිතය

රජිනිකාන්ත් මෙම සිනමාපටය උදෙසා ලබා දෙන බලවත් උද්වේගකර රංගනයහි ආකර්ෂණීය භාවය මෙතෙකැයි පැවසිය නොහැක ඔහුටම ආවේණික ආකර්ෂණීය රංගන වින්‍යාසය ප්‍රතිභා සම්පන්න ලෙස ප්‍රේක්ශකයා අභිමුඛ යේ තැබීමට රජිනිකාන්ත් මෙහිදී සමත්ව ඇත එම උද්වේගකර රංගනයේ ආනුභාවය කෙතෙක්ද යත් කිසිවිටක රජිනිකාන්ත් දැන් වයස්ගත යැය් සිතීම පවා ප්‍රේක්ශකයන්ට උගහටය එතරම්ම එම රංගනය පරිපූර්ණ ය සෙසු රංගන දායකත්වය ලබා දෙන රංගන ශිල්පීන් අතරින් Sunil Shetty , Nivetha Thomas , Yogi Babu හා Nayanthara වැනි රංගන ශිල්පීන්ගේ රංගනය ද රජිනිකාන්ත්ගේ
රංගනයට ඉස්මතු වීමට ඉඩදෙමින් නිසියාකාරව සිනමාපටය තුල ඔවුන්ගේ භූමිකාවට අනුගත වෙමින් ඉදිරිපත් කර තිබුණි

සමස්තයක් ලෙස මෙම සිනමාපටය හි දුර්වලතා ලෙස දර්ශන නිර්මාණයහි දුර්වලතා කිහිපයක් හදුනාගත හැකි විණ තාර්කික හා තාත්ත්වික ලෙස මතුව තිබූ එම දුර්වලතා මා ඉහතදී සාධරණීකරණය කලෙමි එසේම සමහර දර්ශන සිනමාපටය සදහා අනවශ්‍ය ලෙස එක්කර තිබුණි එය නම් කිසිසේත් සාධාරණීකරණය කල නොහැකි තිර පිටපත් දුර්වලතාවකි එසේම Nayanthara නිරූපණය කරන චරිතය උදෙසා සිදු කල වේශනිරූපනයහි දුර්වලතා වන් හදුනා ගත හැකිය රජිනිකාන්ත් ගේ වේශනිරූපනය ඉතාමත් ප්‍රශස්ත අයුරින් සිදුකර තිබුණද නයන්තරාගේ වේශනිරූපනය ඉතා දුර්වල මට්ටමක පැවති බව මාගේ අදහසයි එසේම සිනමාපටය හි අවසානය පිලිබඳ එතරම් ප්‍රසාදයක් මා සතුව නැත මන්ද යත් මෙම සිනමාපටයහි විකාශනය වූ ආකාරය අනුව අවසානය මීට වඩා ප්‍රාණවත්ව තිබුණේ නම් අගනේයැය් මා සිතනා හෙයිනි

මාගේ පෞද්ගලික හැගීම වන්නේ මා ඉහත දැක්වූ දුර්වලතා කිසිවක් සිනමාපටයහි වින්දනාත්මක භාවයට හානියක් නොවන බවයි මසාලා සිනමා ආකෘතියට අනුව සාර්ථකව නිර්මාණය කර ඇති මෙම වින්දනාත්මක පරිසමාප්තියට පත් වානිජ දමිළ සිනමා සිත්තම ඔබ විහිදුණු පුලුල් සිනමා රසාස්වාදයක් ඇති සිනමාලෝලියෙකු හෝ රජිනිකාන්ත්ට අනන්‍ය වූ ආකර්ෂණීය රංගන ප්‍රතිභාව ප්‍රියකරන දමිළ සිනමා ප්‍රෙක්ෂකයෙකු නම් අනිවාර්යයෙන් නැරඹීය යුතු බවට මා යෝජනා කරනු කැමැත්තෙම

DirectorA.R. Murugadoss

Release dateJanuary 9, 2020 (United Arab Emirates)

Box officeest. ₹2.5 billion
Budget: ₹1.9–2 billion;

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *