Dakala Purudu Kenek (2019) Sinhala Sinhala Article

‘දැකල පුරුදු කෙනෙක්’ (2019)

Drama ‧ 2h 12m

89% liked this film Google users

දැකල පුරුදු කෙනෙක් ගැන බොහෝ දේ දැකල තියෙන නමුත් දැකල පුරුදු කෙනෙක් දකින්න මට නම් සෑහෙන කලක් ගතවුණා. පරක්කුවෙලා හරි බලන්න පෙළඹුවේ බලපු අයගෙ ප්‍රතිචාරම තමා. සාමාන්‍යයෙන් මම සිංහල චිත්‍රපට හරිම අඩුවෙන් බලන කෙනෙක් නිසා හිතමිතුරන් විසින් මට සිනමාශාලාවකම බලන්න කියල තදින්ම බල කරපු චිත්‍රපට දෙකෙන් එකක් මේක. අනික ‘ප්‍රේමය නම්’. ඒකත් බැලුවේ සෑහෙන පහුවෙලා. දැන් මේකත් බැලුවා. කට්ටිය බලන්න කියල බල කරපු හේතුව අවබෝධ වුණා.

සිංහල සිනමාවෙන් හැදෙන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙන්නේ විශුවලි ස්ටනින් කොලිටි කොමර්ෂල් චිත්‍රපටම තමා. නමුත් රීමේක්ස් පැත්තෙන් ‍පමණක් යම් සාර්ථක ගමනක් එමින් ඉන්නවා. නැත්නම් හැදෙන්න ඕන කියල මම හිතන්නේ ‘හෝ ගාන පොකුණ’ වගේ හරිම ආදරණීය, එන්ටටේනින් සහ සෝෂල් මැසේජ් එකක් දෙන ඒවා. නැත්නම් ‘ඇවිලෙනසුලුයි’ වගේ ක්‍රයිම් + සයිකොලොජිකල් ත්‍රිලර්, රෝඩ් මූවීස් සහ මයින්ඩ් බෙන්ඩින් ට්විස්ට්ස් තියෙන අමුතුම ඒවා. මේ ශානරයන් හැරෙන්නට ලංකාවෙ හැදෙන බොහෝමයක් ඒවාට, විශේෂයෙන්ම සම්භාව්‍ය වැඩ වලට නම් මගේ පෞද්ගලික කැමැත්තක් නෑ. ‘දැකල පුරුදු කෙනෙක් වගේ’ නිර්මාණ ලෝක සිනමාවේ, විශේෂයෙන්ම ඉරාන සිනමාවෙන් දැකල තිබ්බට ලංකාවෙත් හැදෙයි කියල බලාපොරොත්තු වුණෙත් නෑ. කොහොමහරි එහෙම දේකුත් එහෙනම් සිද්ධ වුණා.

‘දැකල පුරුදු කෙනෙක්’ කියන ටයිට්ල් එක තුළින්ම චිත්‍රපටයේ ගුණාත්මක බව තහවුරු කරගෙන ඉවරයි කියල කියන්න පුළුවන්. ඒක මේ කතන්දරයට මාරම විදිහට සෙට් වෙන නමක් එක එක කෝණ වලින් බැලුවම. මේක බලන කෙනාට අනිවාර්යයෙන්ම මීට අදාළ දැකල පුරුදු අය හමුවෙයි. බොහෝ විට තමන්වම. අපි හැමෝම මේ කතාවේ කොයි මුල්ලක හරි ඉන්නවාමයි. එළිපිටම හෝ හැංඟිලා. එක්කෝ චරිතයක හෝ දෙබස් ඛණ්ඩයක. මේ හැමදෙයක්ම සැබෑම වාතාවරණයන්. මවාපෑම් කිසිවක්ම නෑ. විවාහයක් හෝ ආදර සබඳතාවයක් තුළදී අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ මතුවෙනවාමයි. “අපෝ අපේ නම් එහෙම නෑ” කියල කියන්න පුළුවන් අයත් ඇති. නමුත් අනිවාර්යයෙන්ම ඒ කියන කෙනාත් මේ ඇතුළෙ ඉන්නවාමයි. ඒක දන්නෙත් එයාම විතරයි. අපි කවුරුත් කාටත් විවෘතව නොකියන එවැනි මානුෂීය හැඟීම් ගොන්නක් මිශ්‍ර කරලයි වැඩේ කරල තියෙන්නේ.

මේක මාරම වැඩක් වෙන්න හැමදෙයක්ම බලපානවා. අධ්‍යක්ෂණය, තිරරචනය, රංගනය, කැමරාව ආදී සියලුම කාර්‍යයන් නිසියාකාරයෙන් සිදු වී තිබෙනවා. ලෝ බජට් එකකින් උපරිම වැඩ පෙන්නන හැටි අපි මලයාලම් සිනමාව ඇතුළුව ප්‍රකට හොලිවුඩ් උදාහරණ පවා ගෙනහැර පාමින් ඉදිරිපත් කරනවා. මේ ඇතුළේ අන්න ඒ ගුණාංගය නිවැරදිව දකින්නට ලැබෙනවා. එක උදාහරණයක් විදිහට සංක මල්ලී සහ දිනිති අතර පාර දිගේ ඇදෙන සංවාදය නම් කරන්නට පුළුවන්. චිත්‍රපටයේ ලෙන්ත් එක පුරවන්න බජට් ඕනම නැති ගාණයි. ඒ ඇරුනම සියලුම සංවාදයන් එක්ක මෙහි වෙනස්ම ලාංකේය සිනමා රසයක් දැනෙනවා. ඉරාන සිනමාවෙන් දකින්නට ලැබෙනවා කිව්වේ අන්න ඒ නිසා. කතන්දරය පුරාවටම සොබහවික රංගනය කියන දේ හොඳ ගුණාත්මක බවකින් රඳවන්නට ගත් හොඳම උත්සයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මොකද ලෝක සිනමාවෙනුත් එහෙම ඒවා දකින්නේ සාපේක්ෂව හරිම අඩුවෙන් නිසා. හොය හොයා බලන අයට ඕනෑතරම් හමුවුණාට ජනප්‍රිය සිනමාව තුළ නම් නැතිම ගානයි.

‘දැකල පුරුදු කෙනෙක්’ ට ආස වෙන්න කාරණා ගොඩකින් කීපයක් ගැන විතරයි මේ කිව්වේ. ප්‍රස්තුතය, සිදුවීම් පෙළ සහ චරිත වල හැසිරීම ඇසුරෙන් ප්‍රේක්ෂකයා එක්ක සෘජුවම සම්බන්ධ වෙන්නට හැකි නිර්මාණයක් කියන එකයි ඒ හේතු කාරණා සියල්ලකම සාරාංශය වෙන්නේ. තවත් පැත්තකින් මේක ප්‍රේක්ෂකයා ඉල්ලන ගිල්ටි ප්ලෙෂර් එක ලබා නොදෙන අවස්ථාවක් විදිහටත් හඳුන්වන්නත් පුළුවන්. අපිට ඕන මේ දෙන්නා තව ඇවිලෙනවනම්. සචිත්‍රට තව රිදෙනවනම්. දිනිති තව කීප දෙනෙක් එක්කම පිට යනවනම්. එහෙම දෙයක් සිද්ධ වෙන්න හේතු
විය විය හැකි චරිත පවා මේ තුළ ඉන්නවා. නමුත් නිර්මාණකරුවා විසින් ප්‍රේක්ෂකයාව මේ තුළම රඳවාගෙන ඔහුට ඕනෑ දේම පමණක් ලබාදෙනවා. හැබැයි හැමදෙයක්ම හැමෝටම පොදු ඒවා. ඒ අනුව මේ හැමෝම “දැකල පුරුදු ඈයෝ” ම තමා.

*****************************************************

Edited & Directed by : Malith Hegoda
Written by : Boopathy Nalin Wickramage
Produced by : Vinode Film
Starring
Bimal Jayakodi
Samadhi Laksiri
Cinematography
M.D. Mahindapala
Music by : Ruwan Walpola
Country : Sri Lanka
Language : Sinhala

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *