Connection of Songs and Bollywood Cinema by Hasanka Somarathne
බොලිවුඩ් සිනමාව සහ එහි සංගීතමය බැඳීම.
යම් නාද මාලාවක් ඔස්සේ සහෘද සිත් සංවේදී කෙරේද එය සංගීතයයි යන්න සංගීතය සඳහා සාධාරණ සහ උචිත වූ නිර්වචනයකැයි මට හැඟී යයි.
ගායනය, වාදනය සහ නර්ථනය යන ත්‍රිත්වයෙන් තොර වූ බොලිවුඩ් සිනමා නිර්මාණයක් සොයා ගැනීමද උගහටය. ඇත්ත වශයෙන්ම බොලිවුඩ් සිනමා නිර්මාණ නම් නළඟන හා වෙලී ගත් සංගීතය නම් ආභරණයේ සැබෑම අර්ථය කිමක්දැයි විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
ඉන්දියාව යනු බහු ආගමික සහ බහු සංස්කෘතික සම්භවයක් සහිතව ගොඩ නැගුනු දේශයකි. බහුතර ඉන්දියානුවන්ට සිය සංස්කෘතිය ගස හා බැඳුන පොත්ත මෙනි. ගසක පොත්තේ විශාල ප්‍රමාණයක් ඉවත් කල හොත් විශාල ගසක් වූවද මිය යන්නා සේම සංස්කෘතියේ විශාල ප්‍රමාණයක් ඉවත් කල හොත් ජන වර්ග සම්පූර්ණයෙන් නෂ්ඨ වීමටත් ඉන්දියාව තුල ඇති සම්භාවිතාවය ඉතා ඉහළය.
එම ඉන්දියානු සංස්කෘතියේ සංගීතයට ඇත්තේ අති විශේෂ ස්ථානයකි.
සංස්කෘතයෙන් හින්දි භාෂාව බිඳී එන විට සංගීත් නෘත්‍යම් යන්න අද භාවිතා වන හින්දි සිනමාවේ මුල් පුරුක් පදය යැයි කියවේ. මේ සංගීත් නෘත්‍යම් හෙවත් සංගීතමය නාට්‍ය එකල භාරතයේ ඉතා ජනප්‍රිය වූ අතර දෙබස් සියල්ල පාහේ ගීතමය අකාරයකට ඉදිරිපත් කර ඇත. ගායනයට දක්ෂ නළු නිලියන් පමණක් යොදාගෙන ඇත. මේ නාට්‍ය සංස්කෘතිය පසු කාලීනව පැමිණි සලරූ සිනමාවටද ආරෝපණය වීම හේතුවෙන් වර්ථමානය දක්වාම එය ඒ ආකාරයෙන් පැවත ඒම සිදු වේ.
වර්ෂ 1932 තරම් අතීතයේ නිර්මාණය වූ “ඉන්ද්‍රා සභා” චිත්‍රපටයේ පවා ගීත 72ක් අඩංගු වීමම ඒ සඳහා ප්‍රබල උදාහරණයක් වේ. එය මෙතුවක් නිර්මාණය වූ වැඩිම ගීතමය ජවනිකා සහිත චිත්‍රපටය වේ.
සල රූ චිත්‍රපට ඉන්දියාවට පැමිණියේ 1896 වර්ෂයේදී ය. ඒ ලූමියර් සහෝදරයන් විසිනි. පසුව එම තාක්ෂණය ඉන්දියානුවන් ලබා ගත් අතර 1899 හරිස්චන්ද්‍ර බාට්වදේකර් නම් ඉන්දියානු ජාතිකයෙක් වානර කෙළි සෙල්ලම් හා සටන් තරඟයක් ඇතුළත් සල රූ ප්‍රදර්ශනය කර ඇත.
හරියාකාර චිත්‍රපටයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනය කර ඇත්තේ දඩසහීබ් පාල්කේ විසින් නිර්මාණය කල “කිංග් හරිස්චන්ද්‍ර” (1913) නම් නිහඬ සිනමා නිර්මාණයයි.
පළමු වරට ගීත හා නර්ථන ඇතුළත් චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන්නේ 1931 වර්ෂයේ අර්දේසි ඉරානිගේ අධ්‍යක්ෂනයක් වන “ආලාන් ආරා” (ලොව හැඩ කරන්නිය) සිනමා නිර්මාණයයි. මෙය බොලිවුඩයේ පළමු නාද චිත්‍රපටය විය. තවද ගීත 07කින් සමන්විත වී ඇත.
චිත්‍රපට ගීත තුළ මුල් කාලයේ උර්දු සංගීතයේ ගස(z)ල් ශෛලය වැඩි වශයෙන් භාවිතා වී ඇත. ඊට අමතරව ඇදහිලි සහ විශ්වාස මත පදනම් වූ ගීත භජන් ගීත ශෛලයට නිර්මාණය කර ඇත. මේ අතරින් යෝනක හෙවත් මුස්ලිම් ඇදහිලි සහ විශ්වාස මත පදනම් වූ ගීත සූෆි සංගීතයේ කව්වාලි ශෛලයට නිර්මාණය කර ඇත. ඒවාට උදාහරණ නම් මෙරේ රෂ්කේ ඛමර්, ඛුන් ෆයා ඛුම්,මෝව්ලා මෙරෙ මෝව්ලා යන නිර්මාණ දැක්විය හැක.
එදා මෙදාතුර මේ වන තෙක් ඉහළම වියදමක් සිදු කරමින් කළ සිනමා ගීත වනුයේ “ප්‍යාර් කියා තෝහ් ඩර්නා ක්‍යා” (මූගල් ඊ ආසැම්, 1960) හා මෑත කාලීනව “පාර්ටි ඕල් නයිට්” (ද බොස්, 2013) පිළිවෙලින් ඉන්දියානු රුපියල් මිලියන 1.5 සහ 60ක් ලෙසය. (මිලියන 1.5 වටිනාකම 1960 කාලයට සාපේක්ෂව බව සලකන්න)
හොලිවුඩ් සිනමාව තුළ ගීත හා නර්ථන අඩංගු චිත්‍රපට musicals ලෙස හැඳින්වියද බොලිවුඩයේ එසේ වර්ගීකරණයක් නැත. බොහෝ විට සෑම චිත්‍රපටයකම අඩංගු වන අතර අඩංගු වීම ප්‍රේක්ෂකාගාර කෝණයෙන් අනිවාර්ය වේ.
සිනමා කර්මාන්තය තුළ ඉන්දියානු රුපියල් කෝටි 6000ක් පමණ වාර්ෂිකව සංසරණය වන අතර මිලියන 6කට අධික රැකියා වෙළඳපොළක් ඒ හරහා බිහි වී ඇත. මෙය යම් ආකාරයක මාෆියා ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර සිනමාව කඩා නොවැටී සහ අනවශ්‍ය අත පෙවීම් රහිතව පවත්වාගෙන යාමට බොහෝ කණ්ඩාම් සම්බන්ධ වී ක්‍රියා කරයි.( එය ඉතා ආන්දෝලනාත්මක මාතෘකාවක් බැවින් ඒ පිළිබඳ තව දුරටත් ලිවීමට අදහස් නොකරමි) හරි වේවා හෝ වැරදි වේවා විශාල සංස්කෘතිමය සහ භාෂා විවිධත්වයක් සහිත මෙවන් රටක වර්ෂයකදී භාෂා 20කට අධික ප්‍රමාණයකින් චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිකුත් වන විට ඒවා අවශ්‍ය අයට අවශ්‍ය ආකාරයෙන් පවත්වා ගැනීමට අති විශාල ධනයක්, ශ්‍රමයක් මෙන්ම බලයක්ද අවශ්‍ය බව ඔබට ඉතා පැහැදිලි වනවා නේද?
සාමාන්‍යයෙන් අප දන්නා ආකාරයට බොලිවුඩ් නිර්මාණයන්හි ‘ඉමෝෂනල් ටච්’ එක වැඩිය.(උදාහරණ – සනම් තෙරි කසම්, රොක් ස්ටාර්, ආශිකී, ටාරේ සමීන් පර්) එබැවින් ඊට ඔබින ආකාරයට ප්‍රේක්ෂකයා තුළ ශෝක රසය ඇති වන පරිදි සංගීත නිර්මාණයෙහි ලා ඔවුන් සැබවින්ම සමත් ය.
ප්‍රේක්ෂකයාගේ හැඟීම් වල පාලනය චිත්‍රපටය නතු කර ගැනීමට සියලු සිනමා ශාලා හවුස් ෆුල් වීම අනුලෝමව සමානුපාතික වන බව දන්නා සිනමා නිර්මාපකයෝ ඊට පහසු මෙවලමක් ලෙස සංගීතය හා නර්ථනය භාවිතා කරති.
වර්තමානයේ වන විට ඉහත මා සඳහන් කළ ශෛලීන්ට වෙනස්ව බෝජ්පුරි, පංජාබි සහ හින්ග්ලිශ් (හින්දි සහ ඉංග්‍රීසි කලවම්) ආරක් පැමිණ ඇත. මෙය මා දකින ආකාරයට පරම්පරා පරතරය නිර්වචනය කිරීමකි.
අප දන්නා පරිදි සෑම අවුරුදු 10කට වරක් පරම්පරා පරතරයක් ඇතිවන අතර එය එකිනෙකින් සිතුම් පැතුම් වල සිටම වෙනස් වේ. එම නිසා අද හින්ග්ලිශ්, වේග රිද්ම ගී සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි සිතිය හැක. එමෙන්ම අද සියලුම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ මූලික අභිප්‍රාය සිය සිනමා නිර්මාණයේ “හිට් සෝංග්” එකක් නිර්මාණය කර ගැනීමය. සරලවම කියනවානම් ප්‍රේක්ෂකයාගේ මොළයෙන් තරමක් වැඩිපුර ඩෝපැමින් හෝමෝනය ශ්‍රාවය කරවන ගීතයක් නිර්මාණය කර ගැනීමය. ඒ සඳහා ප්‍රධාන අංගයක් ලෙස භාවිතා වන්නේ අයිතම ගීතයන්( item songs)ය. එහි නියමම අර්ථය කතාවට කිසිම ආකාරයකින් සම්බන්ධයක් නැති ගීතයක් යන්නයි. නියමාකාරයෙන් නම් කොහෙන් කඩා පාත් වූවා දැයි අපට අදහසක් ගත නොහැකි ගීතයක් යන්නයි. මෙය තරමක දුර අතීතයේ සිට භාවිතා වූවත් මෙහි සත්‍ය කතාව නම් මෙයයි.
ඉන්දියාව යනු දුගී භාවයේ අන්තයටත් තරමක් පහළින් අනේක දුක් කම්කටොළු වලින් පිරි සමාජයන්ගෙන් ගහන රටකි. සුපිරි ධනපති මන්දිර වලට වඩා ඇත්තේ පැල්පත් නිවාසය. මේවායේ දිවි සරි කර ගන්නේ අඩු අධ්‍යාපනයක් ලද, නිතර ආර්ථිකමය ගැටළු අනෙක් දහසකුත් එකක් ගැටළු කර පින්නාගෙන ජීවත් වන හෙම්බත් වූ ජන සමූහයන් ය. ආශාවන් කරා පහසුවෙන් ඇද ගත හැක. එය ඔවුනට තාවකාලික සහනයකි. එම සිතැඟි දන්නා අයවලුන් මෙවන් පැල්පත් නිවාස වටා අවර ඝනයේ බාල කාම චිත්‍රපට පෙන්වන ගුබ්බෑයම් බඳු වූ සිනමා හල් ඉදිකරති. ඉතා සුළු මුදලකට එවන් චිත්‍රපට පෙන්වති. (මම මෙවැනි ස්ථාන විශාල සංඛ්‍යාවක් මුම්බායි හි දරාවි පැල්පත් නිවාස සමූහය වටා දැක ඇත්තෙමි) ඒවා රාත්‍රියට හවුස් ෆුල් ය. ඒ ඇසුරින් නාරි ලාලිත්‍යය උලුප්පා දැක්වීම තුළින් චිත්‍රපට සඳහා දිළිදු ජනතාවත් ග්‍රහනය කර ගත් හැකි බව වටහාගත් බුද්ධිමත් අධ්‍යක්ෂකවරයා ඊට අයිතම ගීතයන් ඇතුළත් කළේය.
අයිතම ගීත ප්‍රේක්ෂකයා නතු කර ගන්නේ කෙසේද?
* වර්ණවත් විදුලි ධාරා සහ වර්ණවත් ඇඳුම් භාවිතය.
* ශරීරයේ වසා ගත යුතු ස්ථාන හැකි තරම් අඩුවෙන් වැසීම.
* නාරි දේහයේ අඟ පසඟ උලුප්පා දැක්වෙන ලෙස යොමු කරන කුඩා කැමරා කෝණ.
* වේගවත් නර්ථන රටා සහ එකවර නතර කිරීම.
* පුනරාවර්තනය.
* ගීතයේ “ඒ” ශබ්දය වැඩිපුර භාවිතය.( මොළය මඟින් මෙය හොදින් ග්‍රහනය කර ගන්නා ශබ්දයක් වන අතර බොහෝ විට අප ‘ඒයි, හේයි, හේ යන ශබ්ද වලට ප්‍රතිචාර දක්වන්නේ එබැවිනි.)
* සංගීතයේ සංඛ්‍යාත පරාසය මානව ශරීරයේ අනුනාද පරාසයට ආසන්නව නිර්මාණය.( කතරගම කාවඩි සංගීතය ඇසෙන විට ඉබේ නැටවෙන්නාක් වෙන ආකාරයට මෙම ගීත වල සංගීතයටද නැටවෙන සුළුය.)
*ශෘංගාරාත්මක නර්ථන විලාසයන්.
*ගීතයේ අර්ථය ශෘංගාර රසයෙන් යුක්ත වීම.
කෙසේ නමුදු ඉන්දියාව තුළ මෙම අයිතම ගීත සඳහා බලවත් විරෝධයක් 2012 වකවානුවේ ඇති විය. ඊට හේතුව එම වර්ෂයේ දෙසැම්බර් මස නව දිල්ලි නුවරදී ජෝති සිං (නිර්භයා) නම් වෛද්‍ය ශිෂ්‍යයාව නගරාන්තර බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් කර කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාලවයි. මන්ද ඊට සම්බන්ධ බාල වයස්කරු වන මොහොමඩ් අෆ්‍රෝස්(17) පොලිසියේ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූයේ ඔහු අධික ලෙස අයිතම ගීත නැරඹීමට ඇබ්බැහි වී සිට ඇති බවයි. ඒ රාත්‍රියේ ශරීරයට සිර ඇඳුම් ඇඳ සිටි තරුණිය දුටු අවස්ථාවේ තම හැඟීම් පාලනය කර ගත නොහැකි වූ බවත් ය.
එම කාලයේ මා ඉගෙනුම ලැබූ කොලීජියේ මෙන්ම ඉන්දියාව පුරා සියළුම කොලීජි වල මේ සිද්ධියට සාධාරණය සහ දූෂකයන්ට මරණ දඬුවම ඉල්ලා දැඩි විරෝධතා රැලි සංවිධානය කළහ. ඒවායේ ඉතා ප්‍රසිද්ධ වූ බැනරයක ලියා තිබූ යමක් ලිවීමට සිත් විය.
Before Teaching Me What To Wear,
Just Teach Your Son Not to Rape.
මට පැළඳීමට අවශ්‍ය කුමක්දැයි කියා ගුරුහරුකම් දීමට මත්තෙන් ඔබේ පුතාට කාන්තාවන් දූෂණය නොකරන්නැයි ගුරුහරුකම් ලබා දෙන්න
ඉතින් මා ආදරණීය සහෘදයිනි.. අනාගත බොලිවුඩයේ සංගීතමය මංපෙත කවර දිශාවකට යොමු වේ දැයි පුරෝකතනය ඔබට භාරය. දැනට මම නවතිමි.
මෙතරම් දීර්ඝ ලිපියක් තම කාලය වැය කරමින් කියවූ ඔබ සැමට තුති❤️?