Concussion (2015) English by Luckshman Aranwala
“දුම් බීම හෘදයාබාධ ඇති කරවයි”…
මේ කියමන මේ චිත්‍රපටයට ගලපුවොත් ලැබෙන්නේ “ෆුට්බෝල් ක්‍රීඩාවෙහි නිරතවීම මොළයේ අබාධ ඇති කරවයි” කියන අන්වර්තයයි. හේතු දෙකෙන්ම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි අකල් මරණයක්. මෙතැනදී සිද්ධ වෙන්නෙත් ඇත්තෙන්ම ඒ දේ තමයි. ෆුට්බෝල් කියන දේ ඇමරිකාවට අදාළ වෙන්නේ හැමෝම දන්නා බොහොම ප්‍රසිද්ධ “ඇමරිකන් ෆුට්බෝල්” ලෙසින්. ක්‍රීඩාවක් විදිහට බොහොම ප්‍රවේගකාරී, ප්‍රචණ්ඩකාරී නමුත්, නරඹන්නට උපරිම ත්‍රාසජනක වින්දනයක් ලබා දෙන්නක්. ඇමරිකාවට හොලිවුඩය තරම්ම වටිනා දෙයක් වෙන්නෙත් NFL එකයි. ඇමරිකන් ෆුට්බෝල් ගැන දන්නා ඔබට NFL හි දැවැන්ත බව ගැන අමුතුවෙන් කියා දිය යුතු නැහැ. මේ කරුණු කාරණා මේ චිත්‍රපට කතන්දරයට සම්බන්ධ වෙන්නේ බොහොම ආන්දෝලනාත්මක විදිහකටයි.
නයිජීරීයාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ ඇමරිකානුවකුත් නොවන වෛද්‍යවරයෙක්, පශ්චාත් මරණ පරීක්ෂකයෙක් NFL එකට සෘජුවම අභියෝග කරනවා ෆුට්බෝල් නිසා ක්‍රීඩකයන්ගේ ජීවිත ඔවුන්ගේ මැදි වියේදීම ඔවුන්ට අහිමි වන බවක් සම්බන්ධයෙන්. එනම් කාලාන්තරයක් තිස්සේ ප්‍රචණ්ඩකාරී ෆුට්බෝල් ක්‍රීඩාවෙහි නිරතවීමෙන් හට ගන්නා මොළයේ ආබාධයන් හේතුවෙන් ඔවුන්ට අකල් මරණයන් අත් විය හැකි බවක්. මේ විප්ලවාකාරී මතවාදය ඔහු විසින් පතුරවනු ලබනු එකක් බවට හංවඩු ගැහෙන්නෙත් ෆුට්බෝල් සහ ඇමරිකානු ජන සමාජය කියන සුසංයෝගයෙහි පවතින බැඳීම, වෛද්‍ය විද්‍යාත්මක අනාවරණයන්ටත් වඩා ප්‍රබල නිසායි. මේක බොහොම බරපතල චෝදනාවක් සහ ෆුට්බෝල් වලට ඉහළම රසිකත්වයක් හිමි ඇමරිකාව තුළ ප්‍රශ්න නොකළ යුතු කාරණයක්. නයිජීරියාවෙන් ආපු මේ අරුම පුදුම දොස්තරට පුළුවන් වෙයිද ඇමරිකානු හදවත බඳු වූ NFL එක වහල දාන්න? බොහොම සරලව පැහැදිලි කළොත් මේක තමයි මේ උභතෝකෝටික තත්ත්වයෙහි සැබෑම ස්වරූපය.
2015 වසරට අදාළව තිරගත වුණ Spotlight සහ The Big Short වලට පස්සේ දැකපු, සමාජයෙන් වසන් වුණ අමිහිරිම සත්‍යයක දැවැන්තම අනාවරණයක් කියලත් හඳුන්වන්නට පුළුවන්. සුපිරි නළු Will Smith ගේ පෞද්ගලික රංගන දිවියේ සාර්ථකම කඩ ඉමක්ද වෙනවා මේ දැවැන්ත චරිත නිරූපනයත්. ඒ වගේම මේ දැවැන්ත අනාවරණය සිනමාත්මකව මුළු ලොව පුරාම විසුරුවා හැරීමත් එක්තරා අන්දමකට නිර්භීත අදහස් ප්‍රකාශනයක්. කොහොම වුණත් මුලිනුත් සඳහන් කරපු දුම්බීම සම්බන්ධ දේ කොයිතරම් දුරකට ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන අය ඉඳියිද? ඒ වගේම තමයි ෆුට්බෝල් ක්‍රීඩාවෙහි නිරත වීමත්. මෙච්චර දරුණු හෙළිදරව්වකට පස්සේ ෆුට්බෝල් නවතියිද? කොහෙත්ම නැහැ. නමුත් සිද්ධ විය යුත්තේ සත්‍යය හෙළිදරව් කරවීම පමණයි. නමුත් හැමදාමත් සිද්ධ වුණේ බලධාරීත්වය විසින් සත්‍යය වසන් කරවීම පමණයි. චිත්‍රපට කතන්දරයක් නරඹා ලබා ගන්නා සාම්ප්‍රදායික ආස්වාදයට වඩා වැඩි යමක් අත්විඳින්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් විදිහට ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි.
****************************************************
Written & Directed by
Peter Landesman
Based on
Game Brain
by Jeanne Marie Laskas
Produced by
Ridley Scott
Giannina Facio
David Wolthoff
Larry Shuman
Elizabeth Cantillon
Starring
Will Smith
Alec Baldwin
Gugu Mbatha-Raw
Arliss Howard
Paul Reiser
Luke Wilson
Adewale Akinnuoye-Agbaje
David Morse
Albert Brooks
Cinematography
Salvatore Totino
Music by
James Newton Howard
Country
United States
Language
English