‘C’mon C’mon (2021) English by Luckshman Aranvala
පෞද්ගලිකව 2021 වසරට අදාළව නැරඹූ හොඳම චිත්‍රපටයයි. වසරට අදාළව නිකුත් වූ හොඳම චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් අතරින් හොඳම එක මේ යැයි කියන්නට නම් නිර්මාණය තුළ සුවිශේෂීත්වයක් තිබෙන්නටම එපැයි. සාමාන්‍යයෙන් මම චිත්‍රපට වලින් විශුවලි ස්ටනින් බවක් වර්ණවත් රූපරාමු වලින් අපේක්ෂා කරන්නෙක්. ඉතින් මේක කලු-සුදු චිත්‍රපටයක්. ඒත් පෞද්ගලිකව වසරේ හොඳම චිත්‍රපටය විදිහට මට පෙනුණේම මෙයයි. එහෙම වෙන්න බොහෝ සෙයින්ම බලපෑවේ ජෙසී ගේ චරිතයට පණ පොවනා පුංචි තරුව Woody Norman නිසායි. එයා එක්ක කතන්දරය පුරාවටම ඔට්ටු වෙන විශිෂ්ට රංගන ශිල්පී Joaquin Phoenix හා කරට කර හැප්පෙමින් පෑ රංගන පෙළහර නිසාම වසරේ හොඳම ඉදිරිපත් කිරීම විදිහට මට පෙනුණේත් මේ පොඩ්ඩවම තමයි. එයා ඒ තරම්ම අපූරුයි.
කතන්දරය තමන්ගෙ මාමා එක්ක ටික කාලෙකට නැවතිලා ඉන්න සිද්ධ වෙන 9 හැවිරිදි පොඩ්ඩෙක් ගැනයි. එයාගෙ අම්මට තියෙනවා බොහෝම භාර ධූර කාර්යයක් වෙනුවෙන් කාලය කැප කරන්න. ඒ නිසාමයි පොඩ්ඩව මාමා ළඟ නවත්තන්න වෙන්නේ. හිතුවටත් වඩා වැඩේට කාලෙ ගෙවුණ නිසා පොඩ්ඩටත් සිද්ධ වෙනවා මාමා එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න. මේ කාලය ගෙවෙන හැටි තමයි කතන්දරයක් විදිහට නරඹන්නට තිබෙන්නේ. හැබැයි ඒ ඇතුළෙ කියවෙන තවත් කතා ගොඩයි. ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ විවිධාකාර අර්බුදකාරී අවස්ථාවන් සම්බන්ධයෙන් බොහෝ විස්තර ඒ ඇතුළෙ අඩංගුයි. හැබැයි පොඩ්ඩාව නාභිගත කරගෙනයි ලොකුම කතාව කියවෙන්නේ.
වයස අවුරුදු 9 ක් වුණාට හොඳටම පැහිච්ච එකෙක්. කතා කරල බේරෙන්න බැරි, හිටපු ගමන් හිතාගන්න බැරි විදිහේ දඟ වැඩ කරන, සමහර වෙලාවට හොඳම ඇණයක් වෙන පොඩි උං නම් ඇත්තටම වදයක්. එවන් මුරණ්ඩු සහ කලහකාරී ගති ලක්ෂණ මිශ්‍ර වූ කොලුවෙක් එක්ක මේ මාමා ට ගෙවන්නේ ජීවිතේ කී කලෙකවත් අමතක නොවෙන කෙටි කාලයක්. මොකද පොඩ්ඩා එක පැත්තකින් දඩබ්බරයෙක් වගේ පෙනුණට තවත් පැත්තකින් අසීමිතව ආදරේ හිතෙන හුරතලෙක්. එයාව තේරුම් ගන්න එකයි වඩාත්ම වැදගත් දේ වෙන්නේ. රේඩියෝ ජර්නලිස්ට් කෙනෙක් විදිහට මාමා ගෙ වෘත්තීමය දිවියට අයත් වෙන්නේ ජෙසී වගේ පොඩි උංව ඉන්ටවීව් කරන එක තමයි. අනාගතේ ගැන පොඩි උං සහ නවයොවුන් තරුණ ළමයි දරන අදහස් විමසා පටිගත කරනකොට ඒ අය කියන පුදුමාකාර කතන්දර වලට සවන් දෙන්න වෙනවා. ඒ ඔස්සේ වැඩිහිටියන්ට නොපෙනෙන ඉසව්වක් අවබෝධ කරගන්නට හැකි වෙනවා. ජෙසී ගෙ සමාගමයෙන් ඒ අවබෝධය පුළුල් කරගන්නට ජොනී මාමාට හැකි වෙනවා.
මෙතනදී ජොනී, ඔහුගේ සොහොයුරිය හෙවත් ජෙසී ගේ මව සහ ජෙසී ගෙ පියා ආශ්‍රයෙන් වැඩිහිටියන්ගෙ ලෝකෙ ජීවන ගැටලු ගැන කතිකා කෙරෙනවා. පුංචි කාලෙ ඉඳන්ම දෙමාපිය සෙවණ යට වෙනස්ම අත්දැකීම් ලබපු ජෙසී ගේ චර්යා රටාව වර්තමාන තත්ත්වයට පෙරළුන හැටි හිතාගන්නට පුළුවන්. ඔළුව ඇතුළෙ හටගන්නා පීඩනයක් එළියට දාන්න වැඩිහිටියෝ නම් නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. ඉතින් පොඩි එකාටත් එහෙම පීඩනයක් දැනෙන අවස්ථාවන් එනවා. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා ජෙසී වගේ හැසිරෙනව ඇති. කොච්චර හුරතල් දරුවෙක් වුණත් වැඩිහිටියෙක් වගේ ලෝකෙ දිහා බලන්න ඒ අය පොඩි කාලෙ ඉඳන්ම හුරුවෙනවා ඇති. අවංකවම එහෙම පොඩ්ඩෙක් එක්ක එකට කාලෙ ගත කරන එක හරීම අසීරු ව්‍යායාමයක් වෙන්න පුළුවන්. නමුත් කොහොමහරි ඒ අයව තේරුම් අරගෙන, එයා කියන්න හදන දේට ඇහුම්කන් දීලා, එයාගෙ පීඩනයට සහනයක් වෙන්නට අපේ සමාගමයට හැකි බව එයාට දැනෙන්න සලස්වන්න ඕන. එයා ඉබේම නිවේවි. ලෝකෙ ලස්සනට දකීවි. මිනිස්සුන්ට ආදරේ කරන කෙනෙක් විදිහට හැදේවි වැඩේවි.
****************************************************
Written & Directed by
Mike Mills
Produced by
Chelsea Barnard
Lila Yacoub
Andrea Longacre-White
Starring
Joaquin Phoenix
Gaby Hoffmann
Scoot McNairy
Molly Webster
Jaboukie Young-White
Woody Norman
Cinematography
Robbie Ryan
Music by
Aaron Dessner
Bryce Dessner
Country
United States
Language
English