Cinematic language | Sinhala Article

Cinematic language by Anushka Rasanjana De Silva

?සිනමාත්මක භාෂාව හා තිරරචනය

භාෂාවක් කියන්නේ කථනයට,ලිවීමට හා කියවීමට යොදාගන්න සන්නිවේදන මාධ්‍යයකට… එතකොට සිනමාත්මක භාෂාව කියන්නේ මොකද්ද කියලා බැලුවොත් සරලවම සිනමාත්මක භාෂාව කියන්නේ ප්‍රේක්ෂකයන් සමඟ සන්නිවේදනය කිරීමට යොදාගන්නා ක්‍රම හා සම්මුතීන් වලට… ගොඩාක් වෙලාවට මේකට අයිති Visual Storytelling නැත්නම් දෘශ්‍ය කථනය විතරක් කිව්වත් ඇත්තටම මේකට සිනමාව හරහා හැගීම් හා අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්න ආලෝකකරණය, වර්ණභාවිතය, මිසොන් සෙන් භාවිතය, රංගනය වගේ දේවල් පවා අයිති වෙනවා…

සිනමාකරණ භාෂාව තිරරචනයේ සිට සංස්කරණය දක්වාම අපිට හමුවෙනවා…. තිරරචනයේදි යොදාගන්න කතා වින්‍යාසය, ව්‍යාංගාර්ථවත් සිද්ධි හා වචන භාවිතයේ ඉඳලා සංස්කරණයේදි කරන Cutaway, match Cut වැනි සංස්කරණ ක්‍රම වෙනකල් සියල්ලම මේ සිනමාභාෂාව නිර්මාණකරුවා හා ප්‍රේක්ෂකයා සමීප කරවන්න සිනමාවේ ප්‍රබලත්වය පෙන්වන සන්නිවේදන මාධ්‍යයන් විදියට යොදාගන්නවා…

තිරරචනය හරහා සිනමාභාෂාව ඉදිරිපත් කරවන ආකාරය ගැන මුලින්ම බලමු… 2019 ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපටය බවට පත් වු පැරාසයිට් කොරියානු චිත්‍රපටයේ තිරරචනයේදි සිනමා භාෂාව ප්‍රබල කිරීමට චිත්‍රපටයේ අධ්‍යක්ෂක⁣ මෙන්ම තිරරචක බොන්ග් ජුන් හො දක්ෂ වී ඇති ආකාරය මුලින්ම විමසා බලමු… මේ පැරාසයිට් චිත්‍රපටයේ දෙබස් හරහා ප්‍රබල අරුතක් හා සිනමා භාෂාවේ ප්‍රබලත්වය ප්‍රේ්ක්ෂකයාට පෙන්වන අවස්ථාවක්….

– They’re rich but still nice

– They’re nice because they’re rich

සිනමාවේදි වචන හා දෙබස් කියන්නේ ඉතා ප්‍රබල මාධ්‍යයක් වෙනවා… දෙබස් හරහා වෙනස්ම අර්ථයක් ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමට නිර්මාණකරුවාට හැකි වෙනවා… ඇතැම් දෙබස් ඇතුලේ මතුපිටට වඩා ගැඹුරු අර්ථයක් නිර්මාණය වෙනවා නම් ඒ සිනමාකරණ භාෂාව ප්‍රබල වෙනවා… චිත්‍රපටයේ තවත් දෙබසක් ගැන අවධානය යොමු කරමු…

The Sky is so blue, and no pollution thanks to all the rain yesterday!

චිත්‍රපටයේ ප්‍රබල දෙබසක් විදියට අපිට හදුනගන්න පුළුවන් මේ දෙබස හරහා පන්ති දෙකක ඉරණම් දෙකක් වැස්සත් එක්ක සම්බන්ධ වෙනවිදිය ගැන අවබෝධයක් ප්‍රේක්ෂකයන්ට සමීප කරනවා… ඒ තමයි සිනමාකරණ භාෂාවක් විදියට දෙබස් භාවිතය පැරාසයිට් චිත්‍රපටයේ බොන්ග් ජුන් හෝ යොදාගෙන ඇති ආකාරය…

දෙබස් භාවිතයට අමතරව තිරරචනයේදි සාහිත්‍යමය ශිල්පක්‍රම හා මුලධර්ම සිනමා භාෂාව ප්‍රබල කිරීමට යොදාගන්න පුළුවන්.. සිනමාව විශිෂ්ඨ දෘශ්‍ය කලා මාධ්‍යක් වෙන්නේ නැත්නම් සිනමාව ප්‍රබල දෘශ්‍ය කථන මාධ්‍යක් වීමට රූපරාමු වල ප්‍රභල අර්ථ නිරූපණය බලපානවා… ඒ ප්‍රබල අර්ථ නිරූපණයට ව්‍යාංගාර්ථවත් පද දෙබස් හා සංකේත සංඥා භාවිතයත් බලපානු ලබනවා…

පැරාසයිට් චිත්‍රපටයේ ප්‍රබල සංකේත හා සංඥා භාවිතය ගැන අවධානය යොමු කලොත් එහි මින්ට ලැබෙන පාෂාණය හා එය චෙකොෆ්ගේ තුවක්කුව සිද්ධාන්තය යොදාගෙන කතාව අවසානන⁣ය දක්වා රැගෙන යන්නේ කලින් කියු ව්‍යාංගාර්ථවත් අරථ නිරූපණයක් එක්ක කියලා අපිට කියන්න පුළුවන්…

ඒ පාෂාණය වාසනාව ගෙන්වා කියන විශ්වාසය මින්ට පාෂාණය ලබාදෙන ඥාති සහෝදරයා පවසන තැන සිට මින් ඒ පාෂාණය රකින්න වෙර දරන ආකාරය අපිට දකින්න පුළුවන්… කොටින්ම අන්තිමට නිවස වතුරෙන් යටවෙලා තියෙන අවස්ථාවේ මින් නිවසින් රැගෙන යන්නෙත් ඒ පාෂාණය පමණමයි… අවසානයේ ඒ පාෂාණය ⁣කතාවේ මෙතෙක් දුර රැගෙන ආ හේතුව පෙන්වන අධ්‍යක්ෂක හා තිරරචක බොන්ග් ජුන් හො චෙකොෆ්ගේ තුවක්කුව සිද්ධාන්තය ක්‍රියාත්මක කරන ආකාරයත් එක්ක ඔහුගේ චිත්‍රපටයේ ප්‍රබල සිනමා භාෂාත්‍මක නිරූපණය ගැන හොඳම උදාහරණයක් සපයනවා…

සිනමාව ප්‍රබල දෘශ්‍ය කථන මාධ්‍යක් බවට පත් විමට බලපාන තවත් කරුණක් නම් අඩු කාලයකදී සිනමා භාෂාවේ ප්‍රබලත්වය ප්‍රකාශ කිරීමයි..මෙතනදි භාවිතා කරන ශිල්පීය ක්‍රමය මොන්තාජ් ශෛලිය වනවා… මොන්තාජ් ශෛලිය ගැනත් සිනමා තක්සලාවෙන් මීට පෙර ලිපියක් ගෙනු එනු ලැබුවා…

පැරාසයිට් චිත්‍රපටයේ නිවසේ මෙහෙකාරිය වෙනු⁣වට මින්ගේ මවවව යෙදවීමට ඔවුන් කරන සැලසුම විනාඩි පහකින් රූප ඛණ්ඩ 60කින් නිරූපණය කරනු ලබන්නේ ⁣Foreshadowing යොදාගෙන සංගීතය හා පසුබිම් කථනයෙන් මොන්තාජ් ශෛලිය උපයෝගි කරගෙන වෙනවා… වැඩි වේලාවක පසුබිම් කථනය අපි Monologue නැත්නම් ඒකල භාෂණය විදියට හදුන්වනවා… මොනලොග් එකක් හරහා කෙටි කාලයකින් මොන්තාජ් ශෛලිය යොදාගෙන වැඩි අදහසක්, අර්ථයක් ප්‍රේක්ෂකයන්ට සමීප කරවන්න පුළුවන් වෙන නිසා මේ Monologue නැත්නම් ඒකල භාෂණයද තිරරචනයේදි යොදාගන්න පුළුවන් සිනමා භාෂාව සමීප කරවන්න පුළුවන් ප්‍රබල ක්‍රමයක් විදියට හදුන්වනවා… මේ මොනලොග් එකක් සඳහා සංගීතය, රූප ඛණ්ඩ හා තේමාව බෙහෙවින් ඉවහල් වෙනවා…

මේ විදියේ මොන්තාජ් ශෛලිය මගින් විනාඩි කිහිපයකින් කලින් කතා කල සාහිත්‍ය ශිල්පක්‍රම යොදාගෙන මේ සිනමා භාෂාවේ ප්‍රබලත්වය පෙන්වන්න පුළුවන් වෙනවා…. මේ ආකාරයේ මොන්තාජ් ශෛලිය මුලින්ම නිර්මාණය වෙන්නේ කතාවේ ගලාගෙන යාමත් සමඟ තිරපිටපත සමඟම වෙයි….

තිරරචනය කියන්නේ චිත්‍රපටයක සිනමාභාෂාවේ ප්‍රභලත්වය ඉස්මතු කරවන්න පුළුවන් තැන…එතනදී දෙබස් මා යොදාගන්නා ශිල්ප ක්‍රම ගැන හරි හැටි අවබෝධයක් තියෙනවා නම් චිත්‍රපටයේ ඉතුරු මිසොන් සෙන් , සිනමැටෝග්‍රැෆිකරණය, වර්ණ භාවිතය, ආලෝකකරණය, සංස්කරණ ශිල්ප ක්‍රම, ශබ්දය හා සංගීතය, කතා වින්‍යාසය හරහා චිත්‍රපටය තුලින් ප්‍රබල සිනමා භාෂාවකින් ප්‍රේක්ෂකයාට හැගීම් සම්ප්‍රේෂණයට අවස්ථාව ලැබෙනු ඇත….. ඒනිසා තිරරචනයේදි සියළුම ආකාරයෙන් සිනමා භාෂාව ප්‍රකාශ කරන ආකාරය ගැන අදහසක් ඇතිව තිරරචනය සිදු කරන්න වග බලාගන්න… ලියන වචනයක් ගානේ අර්ථයක් තියෙනවා නම් ඒ අර්ථය ඉස්මතු වෙනවා නම් සාර්ථක සිනමාත්මක භාෂාවක් තිරපිටපත හරහාම නිර්මාණය වේවි…

තිරරචනයට අමතරව චිත්‍රපටයක සිනමාත්මක භාෂාව තවත් ආකාර වලින් නිරූපණය වීමට පුළුවනි..

Camara Framing හෙවත් කැමරා රූපරාමු – කැමරා රූපරාමු වලින් කොහොමද හැඟීම් නිරූපණය කරන්නේ කියන දේ ගැන සිනමැටෝග්‍රැෆිකරණය යටතේ ලිපි පෙලෙදි අපා කතා කලා… Law Angle වලදී චරිතයක ප්‍රභලත්වය, වැදගත් කම පෙන්නකොට High Angle වලින් චරිතයක අසරණකම ,දුර්වලකම පෙන්වන්න පුළුවන් කියලා ඒ යටතේ අපි කතා කලා මතක ඇති…

Lighting and Colour නැත්නම් ආලෝකකරණය හා වර්ණ භාවිතයෙන් හැඟීම් නිරූපණය කරන විදිය ගැනත් අදාල ලිපි ⁣වලින් වෙන වෙනම සාකච්ඡා කලා මතක ඇති…. දැඩි ආලෝකයක් හා ලා පැහැති වර්ණ වලින් සතුට,ධනාත්මක බව පෙන්වන්න පුළුවන් බවත් දැඩි අදුරු ආලෝකකරණයකින් වර්ණ භාවිතයකින් බිය, දුක වැනි ඍණාත්මක හැගීම් නිරූපණය වෙන බවත් චිත්‍රපට නැරඹිමේදීත් අපි අතවිදින දෙයක්….

Performance නැත්නම් රංගනය කියන්නේ චිත්‍රපට වල චරිත වල හැඟීම් නිරූපණය වෙන ප්‍රබලව පෙන්වන්න පුළුවන් දෙයක් කියන එක සාමාන්‍යයෙන් හැමෝම වගේ දන්න කාරණාවක්… මුහුණේ ඉරියව් වලින් , ශරීර අංග චලනයන්ගෙන් , පියවර වලින් පවා හැඟීම් වචන නොමැතිව ප්‍රකාශකරන්න පුළුවන් ක්‍රම හා විධි වෙනවා…

අවසාන වශයෙන් නැවත වතාවක් සිනමාත්මක භාෂාව කියන්නේ ප්‍රේක්ෂකයන් සමඟ සන්නිවේදනය කිරීමට යොදාගන්නා ක්‍රම හා සම්මුතීන් වලට..එකී සම්මුතීන් හා ශිල්ප ක්‍රම තිරරචනය තුලින් යොදාගනිමින් වඩාත් සාර්ථක හා අර්ථවත් සිනමාත්මක භාෂාවක් ප්‍රේක්ෂකයන්ට දැනවීමට හැකි වෙනු ඇත…

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *