Churuli (2021) Malayalam by Ramitha Vimukthi
Spoiler Alert!
Lijo Jose Pellissery තම නිර්මාණකරණය තුල වෙනස්ම මාවතකට යොමුවන චිත්‍රපටයක් Churuli. ඔබ පෙලිසරීගේ නිර්මාණකරණයන් නරඹපු කෙනෙකු නම්, මිනිසාගේ රළු සහ සංකීර්ණ පැතිකඩවල් ඔහුගේ බහුතරයක් නිර්මාණයන් තුල ප්‍රධාන තේමාවක් වූවා. විශේෂයෙන්ම City of God, Angamaly Diaries, Ee.Ma.Yau සහ Jallikkattu, එම කාරණය බොහෝ සෙයින් සනාථ කරන චිත්‍රපට ත්‍රිත්වයක්. ඒ සමගම ගම්බද පරිසරයන් සහ ගැමි චරිතද ඔහුගේ බහුතරයක් නිර්මාණයන් වලට පාධකවී තිබෙනවා. Churuli එහි දිගුවක් වශයෙන් නම් කළ හැකිය. ජනප්‍රිය යූටියුබ් විචාරකයෙකු වන Anmol Jamwal (නොහොත් ජැමී), Churuli සහ පෙලිසරීගේ පෙර චිත්‍රපටයන් වූ Ee. Ma. Yau සහ Jallikkattu වෙත අපූරු සංසන්දනයක් සිදු කරනවා. Ee.Ma. Yau සංකේත කරනු ලැබුවේ මනුෂ්‍ය ජීවිතය සහ එහි යථාර්තයයි. Jallikkattu හි පෙන්නුම් කළ තේමාව හරහා මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ මරණය සංකේත කළා. Churuli හරහා පෙන්නුම් කරන්නේ එම මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ මරණින් මතු ජීවිතයයි (නැතිනම් afterlife).
Churuli චිත්‍රපටය එක් ශානරයකට ගොණු කිරීමට අපහසු චිත්‍රපටයක්. ඊට හේතුව මෙහි science fiction, mystery, thriller සහ fantasy යන ශානර කිහිපයක්ම මිශ්‍රව තිබීමයි. මෙහි අපට මූලිකව හමුවන ප්‍රධාන චරිත ද්විත්වය වන්නේ ශජීවන් සහ ඇන්ටෝනි. වෘතියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන ඔවුන් චුරුලී නම් දුර ඈත ගම්මානයකට වෙස්වලා පැමිණෙන්නේ, යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වෙනුවෙන්. ඔවුන් පැමිණෙන්නේ තන්කන් නම් පුද්ගලයෙකුගේ රබර් වත්තක වැඩ කිරීමට පැමිණි පිටස්තරයින් දෙදෙනෙක් වශයෙන්. ශජීවන් සහ ඇන්ටෝනි සැලසුම් කළ ආකාරයට කිසිදු දෙයක් මෙම ආධුනික ප්‍රදේශයේ සිදු වන්නේ නැත. චුරුලී ගම්මානයට ඇතුළු වූ විගසම එය ශජීවන් සහ ඇන්ටෝනි බලාපොරොත්තු වූ ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් හුදෙකලා ලෝකයක් බව ඔවුන් වටහා ගන්නවා. එහි මිනිසුන්ගේ හැසිරීම රටාවන් සහ භාෂා භාවිතය ගුප්තයි සහ රළුයි. ශජීවන් සහ ඇන්ටෝනි චුරුලීහි ඇති පොදු බාර් එකක් තුල ලැඟුම් ගන්නවා. මෙයද එක්තරා ආකාරයක අමුතු ස්ථානයක්. මිනිසුන් හිතුමනාපෙට බීමතින් රැඳෙමින් විටෙක මෙම ස්ථානයක් පල්ලියක් ලෙසද භාවිතා කරනවා. මෙම ප්‍රදේශයට ඇතුළු වූ විට ශජීවන් තුල පිටසක්වල ජීවින් සම්බන්දව මනෝ සිතුවිලි සහ සිහින පෙනෙන්නට ආරම්භ වනවා. ඔහු මෙම ප්‍රදේශයට මීට පෙර පැමිණ ඇති බවත් මෙහි ඇතැම් ස්ථාන සහ පුද්ගලයින්ව මුණගැසී ඇති බවත් ඔහු ක්‍රම ක්‍රමයෙන් වටහා ගන්නවා. මේ ආකාරයේ ගුප්ත සිදුවීම් පෙලක් සමග මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යනවා.
Churuli චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයකට වඩා, ඉදිරියට විය/විය නොහැකි මානුෂීය යථාර්තයක් ලෙස නම් කළ හැකිය. ගල් යුගයන් සහ වානර යුගයන් පසු කළ පැමිණි අප, ශිෂ්ටාචර යැයි කියාගන්නා සමාජයක ජීවත් වනවා. නමුත් සැබවින්ම අප එම පැරණි යුගයන් පසු කර පැමිණ තිබෙනවාද?. වත්මන් ලෝකය සමාජීය සහ දේශපාලනික බලපෑම් අතින් අවුල් ජාලයක තිබෙන තැනක්. අප ශිෂ්ටාචාර යුගයක සිටිනවාද යන ප්‍රශ්නාර්ථය ලෝකයේ සෑම කොණකින්ම ඉස්මතු වන කාරණයක්. මනුෂ්‍යත්වය යම් මට්ටම් තුලින් තුරන්ව යන ලෝකයක සහ අනෙකාව ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් පවා දෙන සමාජයක , චුරුලී වැනි ගුප්ත රළු ගති පැවතුම් ඇති මිනිස් සමාජයන් අප විසින්ම නිර්මාණ කරයිද?. Churuli හි ඇතුලත් වන විද්‍යා ප්‍රබන්ද කෝණය පසෙක තබා එහි දාර්ශනික පැතිකඩෙන් මා වටහා ගත්තේ මෙවැනි අදහසක්. විශේෂයෙන්ම Lijo Jose Pellissery ගේ Jallikattu සහ Ee. Ma. Yau හි ගොඩනගපු සමාජ කථිකාවන් සමග සසඳද්දී, Churuli හරහා ඔහු ඉස්මතු කිරීමට උත්සාහ කළේ ඉහත සඳහන් කළ ආකාරයේ මතවාදයක් වන්නටද ඉඩකඩක් තිබිය හැක.
පෙලිසරී මෙම චිත්‍රපටයට time loop සංකල්පය ඇතුලත් කර තිබෙනවා. නැවත නැවත පෙර සිදුවූ දේවල් ඒ ආකාරයෙන්ම සිදුවන මෙම චක්‍රය, අපට චිත්‍රපටය ආරම්භයේදීම එක් තැනක දැකගත හැක. ශජීවන් සහ ඇන්ටෝනි ප්‍රථමයෙන්ම චුරුලී වෙත ගමන් ගන්නා අතරවාරයේ හමුවන දිරා ගිය පාලම සහ ඔවුන් සමග ජීප් රථයේ ගමන් කළ පිරිසගේ අනපේක්ෂිතව වෙනස් වුනු හැසිරීම් රටාව ඔවුන් එම කාල චක්‍රයට ඇතුළු වීම සනාථ කරන දර්ශනයක්. ඒ සමගම ශජීවන්ගේ චරිතය එහි සිටින ගම්මුන් මින් පෙර දැක තිබෙන බවට කරන හෙළිදරව්, ශජීවන්ට එම වනගතයේ ඇති සමීප බව සහ විටින් විට ඔහුගේ සිත තුල පිටසක්වල ජීවීන් සමබන්දව මැවෙන මනෝ රූප මෙය පෙන්නුම් කරන ප්‍රධාන අවස්ථාවන් පෙලක්. මෙය සංකීර්ණ වූවත් ප්‍රේක්ෂකයාට වෙනස් වෙනස් ආකාරයේ කියවීම් සිදු කිරීමට ඉඩ සලසන නිර්මාණයක් Churuli.
Churuli චිත්‍රපටය තුල මා වඩාත්ම ඉහලින් අගයන කාරණය වන්නේ පෙලිසරීගේ නිර්මාණශීලී දැක්මයි. ඉන්දියානු සිනමාව තුල මේ ආකාරයේ විද්‍ය ප්‍රබන්ද සහ දාර්ශනික මතවාදයන් ඉදිරිපත් කළ චිත්‍රපට ඇත්තේ ඉතාම සීමිත ප්‍රමාණයක් පමණයි. Churuli ද එම චිත්‍රපට ගණයට වෙනස්ම පන්නරයක් ගෙන ආ චිත්‍රපටයක්. මෙය තිර රචනය කළ S. Hareesh මෙම කතාවේ ඇති කුතුහලය ආරම්භයේ සිට අවසානය දක්වා රඳවා ගැනීමට සමත් වුනත් මෙහි ඇතැම් දර්ශනයන් අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීමට ගිය ඇති වගක් පෙන්නුම් කළා. විශේෂයෙන්ම පිටසක්වල ජීවින් සම්බන්දව ඇති පැතිකඩ. මාගේ පෞද්ගලික මතය අනුව නිර්මාණකරුවා මෙහි ශානාරයන් රැසක් හැසිරවීම නිසා, මෙම පිටසක්වල ජීවීන් සම්බන්දව ඇති එකතුව නිසි ලෙස අධ්‍යනය නොවුන වගක් දක්නට ලැබුනා. එම නිසාදෝ මෙහි සමස්ත කතා තේමාවට විශාල යමක් එකතු කරාද යන ප්‍රශ්නාර්ථය ගොඩනැගුනා.
Vinay Forrt ඇතුළු මෙයට සහාය සහ සුළු චරිත වලින් සම්බන්ද වන සෑම ශිල්පියෙකුම ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. ඒ සමගම Madhu Neelakandan ගේ විශිෂ්ට කැමරාකරණයද චිත්‍රපටය තුල ප්‍රධාන වශයෙන් කැපී පෙනුණු සාධකයක්.
මාගේ පෞද්ගලික මතය අනුව මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක Lijo Jose Pellissery ගේ උසස්ම ගණයේ නිර්මාණයක් නොවුනත්, මෙය සාර්ථක නිර්මාණශීලී අත්හදා බැලීමක්.