Chokher Bali (2003) Hindi | Sinhala Article

Chokher Bali (2003) Hindi 

Spoiler Alert!

88% liked this film Google users

ඉන්දියානු සිනමාව තුල මා නැරඹු අමතක නොවන නිර්මාණයන්ගෙන් එකක් රිතුපර්නෝ ගෝෂ් අධ්‍යක්ෂණය කළ Chokher Bali චිත්‍රපටය. මෙයට පාධක වන්නේ එම නමින්ම 1903 දී ලියවූ රබින්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ නවකතාවයි. රබින්ද්‍රනාත් තාගෝර් විසින් රචනා කළ කෘතින් තුල, එහි ස්ත්‍රී භූමිකාවන්ට ඉතා ප්‍රභල අභ්‍යන්තරයක් සහ ඉදිරිගාමී දැක්මක් ලබාදී තිබුනා. විශේෂයෙන්ම එම බහුතරයක් කෘතීන් තුල පසුගාමී පුරුෂ මූලික මතවාදයන් දැඩිව අභියෝගයට ලක්‌ කළා. Chokher Bali හරහාද ඔහු ප්‍රභල අර්ථ දැක්වීමක් ගැහැණිය වෙනුවෙන් ලබා දෙනවා. මෙහි කතා වස්තුවට මුල් වන්නේ සියවස් ගණනාවක් පටන් වැන්දඹු ගැහැණුන් වෙත අත්පත් වූ ඉරණම් සම්බන්දවයි.

බිනෝදිනි යනු මෑතකදී වැන්දඹුවක් වූ යුවතියක්. එකල බහුතරයක් වූ වැන්දඹු කාන්තාවන්ට අත්පත් වූ ඉරණම බිනෝදිනිටද සිදුවනවා. වැන්දඹු කාන්තාවන්ට පමණක් අවේනික වූ ඇඳුම් පැළඳුම්, ආහාර පාන සහ සමාජය තුල හැසිරිය යුතු ආකාරයන් ඇතුළු තවත් නීතී රෙගුලාසි රැසකින් බිනෝදිනිද සිර වනවා. බිනෝදිනිගේ ජීවිතයට සම්බන්ද වන අනිකුත් චරිත වන්නේ ආශාලතා, මහේන්ද්‍ර, බෙහාරී සහ රාජ්ලක්ෂ්මි. රාජ්ලක්ෂ්මි නම් වංශපති කාන්තාවකගේ පුතුණුවන් දෙපළ වන්නේ මහේන්ද්‍ර සහ බෙහාරී. බිනෝදිනි ඇගේ මියැදුණු සැමියා සමග විවාහ වීමට පෙර, රාජ්ලක්ෂ්මිගේ වැඩිමල් පුත්‍රයා වූ මහේන්ද්‍ර වෙත යෝජනා කර ඇත. නමුත් එකල ඔහු විවාහයට සුදානම් නොවූ නිසා මහේන්ද්‍ර ඇයව ප්‍රතික්ෂේප කරනවා. එපමණක් නොව බෙහාරී නම් දෙවෙනි පුත්‍රයාද ඇයව ප්‍රතික්ෂේප කරනවා. බිනෝදිනි වෙනත් පිරිමියෙකු සමග විවාහ වනවා. නමුත් ඉතා කෙටි කලකින් ඇගේ සැමියා අන්තරා වනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් සම්ප්‍රදායික වැන්දඹු චාරිත්‍රයන් ඇයටද අනුගමනය කිරීමට සිදුවනවා.

බිනෝදිනිගේ සැමියාගේ වියෝවෙන් මාස කිහිපයකට පසු ඇගේ තවත් ඥාතියෙකු අන්තරා වනවා. එහිදී ඇයට රාජ්ලක්ශ්මිව නැවත මුණගැසෙනවා. බිනෝදිනි රජ්ලක්ෂ්මි වෙත දැක්වූ සැලකිලි හමුවේ, රජ්ලක්ෂ්මී ඇයව තම නිවසට රැගෙන එනවා. මෙය සිදුවන්නේ ඇගේ පුත්‍රයින් දෙදෙනාගේද අනුමැතිය ඇතිවයි. මේ අතරවාරයේ මහේන්ද්‍ර ඔහුගේ නැන්දනියක්‌ වන අන්නාපුර්ණාගේ ඥාති දියණියක් සමග විවාහ වනවා. ඇය නමින් ආශාලතා. බිනොන්දිනි මෙම නිවසට පැමිණීමත් සමග ඇය සහ ආශාලතා අතර මිත්‍රත්වයක් ඇති වනවා. නමුත් මෙහි සැබෑ අරමුණ ඇයට මහේන්ද්‍ර වෙත ලංවීමේ අවශ්‍යතාවයයි. මෙයට හේතු වන්නේ බිනෝදිනි තුල එක්තරා ආකාරයක ඇති පළිගැනීමේ චේතනාවක්‌. මහේන්ද්‍ර ඇගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා එය ඇගේ වත්මන් තත්වයට ප්‍රධාන වශයෙන් බලපෑමක් කළ කාරණයක්. ආශාලතා යනු සම්ප්‍රදායික ලෙස හැඩ ගැසුණු කාන්තාවක් නමුත් බිනෝදිනි යනු අධ්‍යාපණය ලැබූ පොත පත දැනුම ඇති උගත් ගැහැණියක්. මෙහෙන්ද්‍ර තුල නොදැනීම මෙය නිසා බිනොදිනි වෙත හැඟීමක් පහළ වනවා. කාලයත් සමග මහේන්ද්‍ර බිනෝදිනි සමග අනියම් සම්බන්දයක් පවත්වනවා. බිනෝදිනිද මහේන්ද්‍ර සමග සම්බන්දයක්‌ පැවැත් වූවත් ඇය සැබවින්ම කැමැත්තක් දක්වන්නේ බිහාරී වෙතයි. මේ ආකාරයට මෙම චරිත අතර ඇති සම්බන්දතාවයන් තව තවත් සංකීර්ණ වනවා. මෙහි අවසානය කුමක් වේවිද?. මෙය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.

රබින්ද්‍රනාත් ටෑගෝර්ගේ නවකතාව කියවා නැති නිසා, චිත්‍රපටය එයට කෙතරම් සමීපද යන විනිෂ්‍ය දීමට අපහසුයි. නමුත් මා විශ්වාස කරනවා මෙය අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ රිතුපර්නෝ ගෝෂ් මෙයට උපරිම සාදාරණයක් කළ බව. චෝකර් බාලි තුලින් මතුපිටින් වැන්දඹු කාන්තාවන්ගේ ඉරණම් සම්බන්දව කථිකාවක් ගොඩ නැගුවත්, එහි අභ්‍යන්තරයෙන් ගලා බසින දේශපාලනික කතාවද ඔබේ අවදානයට ලක්විය යුතුයි. මෙයට පාධක වන කාල සීමාව වන්නේ, 20 වන සියවසය ආරම්භයේදී ඉන්දියාව තුල ඉංග්‍රීසි පාලනයට විරුද්ධව දියත් වූ දේශපාලනික අරගල කාලයයි. නමුත් මෙම අරගල සියල්ලක් අතරමැද බහුතරයකට නෙත නොගැසුණු කාරණයක් වූයේ, පසුගාමී සමාජ ආකල්පයන් හමුවේ කාන්තාවන්ට අත්පත් වූ ඉරණම් සම්බන්දයවයි. එකල පුරුෂයෙකුට කැමති ගැහැණියක් සමග විවාහ වන්නට පුළුවන්. අකමැති නම් එම ගැහැණියව ප්‍රතික්ෂේප කරන්නටද පුළුවන්. නමුත් එයට එම කාන්තාවගේ කැමැත්ත අකමැත්ත වලංගු වන්නේ නැත. කාන්තාවකට තමා කැමති කෙනෙකුට නිදහසේ ආදරය කිරීමටද වාතාවරණයක්‌ නැත. එම කාල වකවානුව තුල පුරුෂයෙකුට බිරින්දෑවරුන් කිහිප දෙනෙකු සමග දීග යන්නට හැකි වූවත්, ගැහැණියට එය වලංගු වූයේ නැත. ඇය සැමියා අහිමි වැන්දඹුවක් නම් පොදු සමාජයෙන් දුරස්වී තව තවත් නීතී ගොන්නක් මැද වාසය කළ යුතුයි. ඇයට නැවත වරක් විවාහ විය නොහැක. නමුත් පිරිමියාට එවැනි නීතී කන්දරකාවක් නැත. චෝකර් බාලි චිත්‍රපටය තුලින් ඔබ‍ට හමුවන බිනෝදිනි, අශාලතා, රාජ්ලක්ෂ්මි සහ අන්නාපුර්ණ වැනි චරිතයන් තුලින් මෙම කාල වකවානුවන් තුල කාන්තාවන්ට අත්විඳින්නට සිදුවූ ලිංගික කුහකත්වයන් සම්බන්දව නිහඬ නමුත් ප්‍රභල විවේචනයක්‌ මෙහි පෙන්නුම් කරනවා. මෙම කාන්තා චරිතයන්, මහේන්ද්‍ර සහ බෙහාරී වැනි චරිතයන් සමග සසඳද්දී මෙම කුහකත්වයන් තව තවත් පෙන්නුම් කරනවා. ඒ සමගම රාගය පුරුෂයාට පමණක් නොව ගැහැණිය තුලද ඉස්මතු වන ආකාරය ඉතා අපූරුවට මෙහි පෙන්නුම් කළා.

අයිශ්වර්යා රායිගේ සිනමා දිවියේ තවත් විශිෂ්ටතම රංගනයන් ඔබ‍ට චෝකර් බාලි තුලින් දැක බලා ගන්නට පුළුවන්. බිනෝදිනිගේ චරිතය තුල වැන්දඹුවක් වශයෙන් අත්විඳින දුෂ්කරතාවය සහ හිත යටින් සාමාන්‍ය ගැහැණියක් ලෙස ජීවත් වීමට හීන දකින ගැහැණියගේ චරිතයට උපරිම සාදාරණයක් ඇය ඉෂ්ට කළා. ඒ සමගම Raima Sen, Prosenjit Chatterjee, Lily Chakravarty සහ Tota Roy Chowdhury ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළා. චිත්‍රපටයේ තාක්ෂණික අංගයන් වූ : Avik Mukhopadhyay ගේ සිනමාකරණය, Debojyoti Mishra ගේ සංගීත අධ්‍යක්ෂණය සහ Bibi Ray/ Sushanto Pal ගේ ඇඳුම් නිර්මාණකරණයද ඉතාම ඉහල මට්ටමක තිබුනා.

මෙහි චිත්‍රපටය ආරම්භයේදී සටහන් වනවා රබින්ද්‍රනාත් තාගෝර් මෙම කෘතියට ඔහු ලබා දුන් අවසානය පිලිබඳ ඔහු පසු තැවෙන බව. චිත්‍රපටය නැරඹුවොත් මෙය ඔබටද වැටහෙයි. රිතුපර්නෝ ගෝෂ් නම් අධ්‍යක්ෂකවරයාගේ ඉහලින්ම නිර්දේශ කළ හැකි නිර්මාණයක් මෙය.

Rituparno Ghosh
Initial releaseOctober 2, 2003 (India)

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *