Burning (2018) Korean by Luckshman Aranwala

“Burning’ Named Best Korean Film Ever, According to Poll of Over 158 Film Critics; ‘Parasite’ Finishes Second” කියලා දකින්න ලැබුණද? මේ අවුරුද්දෙම අප්‍රේල් මාසයෙදි දකින්නට ලැබෙන දෙයක් මේක. මෙහෙම වෙන්න පුළුවන්ද? මොකද මේක බරපතල ප්‍රකාශයක්. කොරියානු ත්‍රිලර් චිත්‍රපට වැඩිපුරම බලන අයටත් මේක ටිකක් විමතියක් ගෙන දෙන කාරණාවක් බවට පත්වෙයි. හොඳම කොරියානු චිත්‍රපට කිව්වම කොච්චරක් නම් තියෙනවද? ඔය කියන තරම් දෙයක් ‘Burning’ එකේ තිබ්බද? නොතියෙන්න විදිහක් නෑනේ මෙහෙම ඇගයීමක් ලැබුණම? ඒ කියන්නෙ එහෙම දෙයක් තිබිලත් අපිට පෙනිල නෑ කියන එකද?
Burning හදන්නෙ නම් කොරියානු සිනමාවේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන Lee Chang-dong විසින්. ඒ වගේම හදන්න පාදක කරගන්නෙත් ලෝක සාහිත්‍යය තුළ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් ජපන් ජාතික කතුවර හරුකි මුරකාමි ගෙ “Barn Burning” නම් කෙටි කතාව පාදක කරගෙනයි. ඒ අනුව ගත් කළ චිත්‍රපටය තුළ අද්විතීය යමක් තියෙන්නම ඕන. මේක මුරකාමි කතන්දරයක් නම් අද්භූත බවක් අඩංගු විය යුතුමයි. මුරකාමි ගෙ කෘති කියවා ඇති අය ඒ ගැන දන්නවා.
ඒ වගේම ඇමරිකානු ජාතික කතුවරයෙක් වන William Faulkner ගේ “Barn Burning” කියන නමම තියෙන තවත් කෙටි කතාවක කොටසකුත් නිර්මාණකරුවා විසින් චිත්‍රපටය වෙනුවෙන් භාවිතා කරල තියෙනවා. ප්‍රධාන සිදුවීම් දහරාව මුරකාමි ගෙ කතාවෙනුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ජොන්සු ගෙ පියාගෙ විස්තරය ඇමරිකානු කතාවෙනුත් විදිහටත්. නිර්මාණකරනයක් විදිහට අපූරු භාවිතාවක් කියන්න පුළුවන්.

චිත්‍රපට කතන්දරය දිහා බැලුවම ආපහු අපිට පුළුවන් අර ප්‍රේක්ෂක ගැටලුව වෙතට යොමුවෙන්නට. ඒ කියන්නෙ නරඹපු අයගෙ ප්‍රතිචාර වල පරස්පරයක් දකින්නට ලැබෙන එක ගැන. “මේකෙ මහ දෙයක් නෑනේ, විකාරයක්නේ, හෙන කම්මැලියිනේ” කියපු කොටසකුත් ඉන්නවා. නමුත් ඔය කියපුවගෙම ප්‍රතිවිරුද්ධ මතය දරන පිරිසකුත් ඉන්නවා. එකම කතාව කොහොමද දෙපිරිසකට දෙයාකාරයකින් බලපාන්නේ? හැබැයි හරියට බැලුවොත් මේ චිත්‍රපටයෙන් හමුවන චරිත ත්‍රිත්වය වගේ තමයි. මොකද ඒ හැම කෙනාගෙම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මූලික අවධානය යොමු කරන ඕන චරිත වල සැකැස්මට.
ජොන්සු කියන්නෙ නිර්ධන පන්තිය නියෝජනය කරනා දුප්පතා. ඔහුගේ ප්‍රතිවිරුද්ධ චරිතය වෙන්නෙ ධනපති පන්තිය නියෝජනය කරනා බෙන්. මේ දෙන්නා මැද්දේ ඉන්නවා කිසිම පන්තියක් නියෝජනය නොකරනා හරිම ස්වාධීන ජීවිකාවක් ගත කරන තරුණියක් හෙයිමී. එතකොට මේ අපි බලන්නෙ මේ තුන්දෙනා අතරේ බෙදිල යන තුන්කොන් ආදර සටනක්ද? ටිකක් විතර ඔව් කියන්නත් පුළුවන්, ඒ එක්කම නෑ කියන්නත් පුළුවන්.
නරඹන්නා මේ කතන්දරය ඇතුළෙ අතරමං කරවන සාධකයන් තියෙනවා. නමුත් ඇත්තටම අතරමං වෙන්නෙ “මේක මේ කියන තරම්ම හොඳද?” කියන කාරණය තුළයි. අන්න එතනදි අපිට සිද්ධ වෙනවා කතන්දරය ඇතුළට ගිහින් පොඩ්ඩක් බලන්න. කොතනද මේකෙ මේ කියන මැජික් එක තියෙන්නෙ කියල හාරා අවුස්සලා බලන්න. මුල ඉඳන් අගටම මේක හරිම සාමාන්‍ය කතාවක්. මේක ඇතුළෙ මහා රහසක් පේන්නෙ නෑ. පැහැදිලිවම පේනවා බෙන් මොන වගේ කෙනෙක්ද, එයා මොකක්ද කරේ, හෙයිමී මොනවගේ කෙනෙක්ද එයාට මොකද වුණේ සහ ජොන්සු ට ඇයි එහෙම කරන්න වුණේ කියන කාරණා සේරම. ඊට පස්සෙ අපිට පුළුවන් මේක ඇතුළට ටිකක් ගැඹුරට ගිහින් කල්පනා කරන්න, ඇත්තටම එහෙම දෙයක් වුණාද කියලත්. ඒ කියන්නෙ යථාර්ථයත්, පරිකල්පනයත් අතර රැඳවෙන යමක්ද මේ නැරඹුවේ කියන සැකය දුරුකරගන්න. ඒ සඳහා ආපහු අපිට සිද්ධ වෙනවා චරිත විස්තර වල සැකැස්ම දිහාට යොමුවෙන්න.

ජොන්සු ලේඛන කලාවට අවතීර්ණ වෙන්න සූදානම් කියන ඉඟිය අපිට මුලින්ම ලැබෙනවා. එක අතකින් ඔහු ජීවිතේට බොහෝ අසීරුවෙන් මුහුණ දෙන්නෙක්. ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න නිසා තැවෙන්නෙක්. උගත් අයෙක් නමුත් උගත් කමෙන් ජීවනෝපාය සරිකරගන්නට නොහැකි වූ අයෙක්. ඉතින් ලේඛකයෙක් වෙන්නට ඔහුට හැකියාවක් තියෙනවා. ඔහු එහෙම කරන්න උත්සහ කරනවා. අව්‍යාජ චරිතයක්. හෙයිමී නම් තරුණිය නිදහසේ දවි ගෙවන්නියක්. ඇය දුකෙන් තැවෙන්නියක් නෙමේ. ඇගේ ප්‍රශ්න වලට ඇයම උත්තර සොයාගන්නා තැනැත්තියක්. එක තැන නොරැදෙන්නියක්. සුළු සුළු දෛනික කටයුතු වල නිරත වන පුංචි කාමර කෑල්ලක ජීවත් වෙන නමුත් ලෝකෙ පුරාම සංචාරය කරන්න සූදානම් අයෙක්. හැබැයි ඇය මවා පාන්නියක්. බෙන් මහා ධනවතෙක්. හෙයිමි වගේ කෙල්ලන්ව අල්ලෙ නටවන්නට හැකි සිහින කුමාරයෙක්. මහත්මා ගති පානා නමුත් ගුප්තකාරී චරිතයක්. මේ හැම චරිත ලක්ෂණයක්ම ඇත්තටම සම්මිශ්‍රණයක්.
ඒ කියන්නෙ මේ හැමදෙයක්ම කතන්දරය ඇතුළෙ අපිට පේන චරිත ලක්ෂණ විතරයි. මෙයාලගෙ දෙබිඩි පිළිවෙත් තේරුම් ගන්න අතරෙම කතන්දරය ගොඩනගාගන්නට පුළුවන්.
මේ ඇතුළෙ හැංගිච්ච අභිරහස් හොයන එක වෙනුවට අපිට පුළුවන් පේන්න තියෙන දෙයින් යමක් තේරුම් ගන්න. පැහැදිලිවම මෙතන තියෙන්නෙ සංසන්දනයක්. එකම සමාජ පද්ධතියකට අයිති නමුත් සමාජ තළ දෙකක වෙසෙන තරුණයින් දෙන්නෙක්ව අපිට දකින්න පුළුවන්. ජොන්සු ට අහිමි හැමදේම බෙන් ට තියෙනවා. හැබැයි හෙයිමි කියන්නෙ ජොන්සු ට වත් බෙන් ට වත් අයිති වස්තුවක් නෙමේ. දෙන්නගෙ සමාජ තළ දෙක මැද්දේ ඇය ඇගේම ලෝකෙක ඇගේම නිදහසක අසිරිය භුක්ති විඳිනවා. නමුත් ජොන්සු ගෙ පැත්තෙන් බලනකොට පේන්න තියෙන්නෙ ජොන්සු ට නැති බෙන් ට ඇති දේවල්ම තමයි. මේක ඊර්ෂ්‍යා සහගත හැඟීමක් වෙන්න පුළුවන්. බෙන් ඉදිරියේ හෙයිමි ගෙ හැසිරීම කෙරෙහි ඔහු කෝප ගන්නෙත් ඒ හැඟීමෙන්ම කියන්න පුළුවන්.
ඒ අනුව හෙයිමි ත් අන්තිමේදි බෙන් ට අයිති වෙන බවක් තමයි ඔහු උපකල්පනය කරල තියෙන්නේ. සංසන්දනය සිද්ධ වෙන හැටි පැහැදිලිවම පේනවනේ. බෙන් ගෙ නිවස, ජොන්සු ගෙ නිවස. බෙන් පදින වාහන, ජොන්සු ගෙ වාහනය. බෙන්ගෙ ජීවන රටාව, ජොන්සු ගෙ ජීවන රටාව. ඒ වගේම බෙන් නිදහසේ හෙයිමි එක්ක හැසිරෙනවා, ජොන්සු ඉන්නෙ හෙයිමි ගැන දෙගිඩියාවකින්. බෙන්ගෙ සමාගමයේ හෙයිමි ට වඩා කෙල්ලො රොත්තක් ඉන්නවා. ජොන්සු ට හෙයිමි කියන්නෙ මහමෙරක් වගේ. පෝසත් කොල්ලෙක්ගෙ යෙහෙළියක් වෙලා ඉන්න හෙයිමිට ආදරෙයි කියන්න ජොන්සු පැකිළෙන අතරේ, හෙයිමි කියන්නෙ බෙන් ගෙ ජිවිතේ කාලෙ ගතකරන්න පාවිච්චි කරන තවත් එක කෙල්ලෙක් විතරයි.

ඒ ආස්සරෙත් කම්මැලි වුණොත් බෙන් වෙන කෙල්ලෙක් හොයාගනී. මොන දේටත් වඩා මෙන්න මේ දේ ජොන්සු ට බලපානවා. ඉතින් ඔය සන්සන්දනය ඇත්තටම පාර කපන්නේ දැවෙන ඊර්ෂ්‍යාවකට කියල පැහැදිලියිනේ. ඒ වගේම මනුස්සයෙක්ට උතුරන්න සල්ලි තියෙනකොට, ඒ මනුස්සයා කිසිම වැඩක් පලක් කරනවාවත් නොපෙනෙනකොටත් බලන් ඉන්න අයගෙ ඇස් වල කටු අනිනවා වගේනේ. “ඌට කොහෙන්ද අප්පා එච්චර සල්ලි? ඔය බිස්නස් එකෙන් කියල නම් හිතන්න අමාරුයි. ශුවර් එකටම ඕකා කුඩු විකුණනව ඇති” විදිහට අපිම අපේ හිතළු ඔස්සේ පරිකල්පනයන් මවා ගන්නවා. අන්න ඒ “පරිකල්පනය” කියන කොටස චිත්‍රපටය තුළ අපූරුවට අන්තර්ගත වෙලා තියෙනවා.
ඒ අනුව ජොන්සුගේ උපකල්පන පරිකල්පනයක් බවට පත්වෙලා හැදෙන කතන්දරය තමයි මේ ගොඩනගල තියෙන්නෙ කියන අවසාන නිගමනයට අපිට එන්න පුළුවන්. තමන් පොතක් ලියන බව ජොන්සු අපිට මුලින්ම කියලනෙ තියෙන්නෙ. හැබැයි ලියන පොතේ කතාව චිත්‍රපටය තුළ ආරම්භ වෙන තැන අපි තේරුම් බේරුම් කරගන්න ඕන. තුන්දෙනාම ජොන්සු ගෙ ගෙදරදි සෙට් වෙන තැන. හෙයිමි ගේ නිදහස් හැසිරීම ජොන්සු ගේ පිළිකුලට ලක්වෙන තැන. බෙන් තමන්ගෙ අරුම පුදුම භයංකර විනෝදාංශයක රහසක් ගැන ජොන්සුට අනාවරණය කරන තැන. එතනද? කොහොමහරි ජොන්සු – බෙන් දෙන්නා අතරමැද්දේ ඉන්නේ හෙයිමි. “ඉන්නවා” කිව්වට “ඉන්නෙ නෑ” කියන එකනේ හෙයිමි ගෙ දර්ශනය. ඉතින් එතනින් එහාට ජොන්සු තමන්ගෙ පරිකල්පනය ඇතුළෙ හෙයිමි ව භාවිතා කරපු “විදිහ” නිසා තමයි මේ කතන්දරයට මෙහෙම අවසානයක් ලැබුණේ. මොකද හෙයිමි ව තමන්ට අයිති වෙන්නෙ නැති බව ජොන්සු දන්නවා, ඒ නිසාම ඇයව බෙන් ට හිමිකරල දෙන්නත් ජොන්සු ට බෑ. ඒකයි එයා “එහෙම” කළේ.
අවසාන වශයෙන් මේ කතන්දරය ඇතුළේ කතා ත්‍රිත්වයක් අඩංගු බව අවබෝධ කරගන්නට පුළුවන්. එකක් රූපමය වශයෙන් අපි දකින කතාව. අනික ඒ රූපමය වශයෙන් දැකපු දේ තුළ ජොන්සු ට අයත් පරිකල්පිත කොටස. තෙවැන්න නම් මේ චරිත තුන ආශ්‍රයෙන් අධ්‍යක්ෂකවරයා ගේ පණිවිඩය. තුන්දෙනාම නියෝජනය කරන්නෙ වර්තමාන තරුණ පරම්පරාව. එහෙමත් නැත්තම් රටේ ඉදිරි අනාගතය. ඒ අනාගතය ඇත්තටම තියෙන්නෙ ලොකු අනතුරක. ජොන්සු වගේ උගත් බුද්ධිමත් අය තමන් විඳින පීඩාවන් නිසා නිසා අවාසනාවන්ත විදිහට ජීවිතේ විනාස කරගන්නවා. හෙයිමී වගේ අය ඕනවට වඩා නිදහස හොයන්න ගිහින් තවත් පාර්ශ්වයකගේ ගොදුරු බවට පත්වෙනවා. බෙන් වගේ සල්ලි කාරයෝ ජීවිතේම විනෝදයක් කරගෙන ලොකු සමාජ උවදුරක් බවට පත්වෙනවා. කොයිහැටි වෙතත් අන්තිමට සිද්ධ වෙන්නේ රටේ තරුණ පරම්පරාව නිරපරාදේ “දැවිලා” අළුවෙලා යන එක විතරමයි කියලා අධ්‍යක්ෂකවරයා මෙන්න මේ විදිහට අපිට කියනවා.
Lee Chang-dong
ලක්ෂ්මන් අරංවල
Writer