Buddhi Wickrama Sri Lankan Actor | Sinhala Article

Buddhi Wickrama Sri Lankan Actor by Thusha S Weerasinghe

සිනමාවේ ,ටෙලිවිෂනයේ දස්කම් පෑ ” බුද්ධි වික්‍රම ” අද….
—————-=========—-===========

වැලිකතර චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයකි. එහි ජෝ අබේවික්‍රම රඟපෑවේ ගෝරිං මුදලාලිගේ චරිතය ය. ඔහුගේ සඟයා ලෙස රඟපෑ නළුවා එම චිත්‍රපටයේ රඟ පෑ මහා සිනමා පෞරුෂ සේම කිසිදිනෙක ප්‍රේක්ෂක සිතින් බැහැරට නොගියේය. එසේම ‘අඹ යහළුවෝ‘ ටෙලිනාට්‍යයේ කැන්දලන්ද චරිතය රඟපෑම නිසා කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද විරෝධය ඔහුට එල්ල විය. ඒ රංගනය එපමණටම තාත්වික විය.

එසේම කුමාරිහාමි ටෙලි නිර්මාණයේ “මෝසස්” තාරාදේවි ටෙලිනාට්‍යයේ “සිරිසේන” අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ “කැන්දලන්ද” ට බොහෝ සේ ආදරය කළ ප්‍රේක්ෂකයන්ට බුද්ධි වික්‍රම කිසිදා අමතක නොවනු ඇත. පුංචි තිරය, වේදිකාව මෙන්ම සිනමාවේද මතක හිටින චරිත බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එක්වූ බුද්ධි වික්‍රම මේ වනවිට දැඩි සේ රෝගාතුරව ඇඳට සීමා වී සිටීම ඔහුට ආදරය කළ සුවහසක් ප්‍රේක්ෂකයන්ට නෙතට කඳුළක් උනන සෝචනීය ආරංචියකි. එදා තිරය ආලෝකමත් කළ බුද්ධි අද මේ නිවහනේ සයනය මත වැතිර කල් ගෙවනුයේ පවුලේ සාමාජිකයන්ගේ රැකවරණය මතය

දැනට 82 වියේ පසුවන වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය යන කලා මාධ්‍ය තුනෙහිම නොමැකෙන මතක සටහන් තැබූ බුද්ධි වික්‍රම නම් අපූරු මිනිසාගේ හඬට සවන් දෙමු..

“ මට දැන් සෑහෙන්න කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මීට අවුරුදු හතකට කලින් මම බයිපාස් සැත්කමකට මුහුණ දුන්නා. ඊට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වීම අඩු කළා. දැන් අවුරුදු හතරකට කලිනුයි මට මේ පාකින්සන් රෝගය වැලඳුණේ. මේක හැදෙන්නේ කැසියස් ක්ලේ, ඇමරිකාවේ ජනාධිපතිලා වගේ ලොකු මිනිස්සුන්ටනේ ඉතින්.“ ඔහු කොක්සන් දී සිනාසුණේය. මිනිසුන් පෙළා දමන බිඳ දමන රෝගයකින් පෙළෙමින් ඔහු ජීවිතයේ ස්වරූපය කියමින් හිඳී.

“ මගේ යාළුවෝ සහ ඥාතීන් කීප දෙනෙක් එකතු වෙලා විදුලි රෝදපුටුවක් අරන් දුන්නා. දැන් ඉතින් වැඩිපුරම කාලය ගත වෙන්නේ රෝද පුටුවෙන් ඇඳටයි, ඇඳෙන් රෝද පුටුවටයි.“බුද්ධි වික්‍රමයන් කයින් රෝගීව සිටියත් සිනහව ඔහු කෙරෙන් ඉවත්ව ගොස් නැත.

“මගේ ගම ගාල්ලේ හීනටිගල. මහින්ද විද්‍යාලයෙන් මං අධ්‍යාපනය හදාරන කාලේ විනී විතාරණ සර් “අවුරුද්ද”නමින් නාට්‍යයක් කළා. එතකොට මම කුඩා දරුවෙක්. මට කියන්න තිබ්බේ එක දෙබසයි. ඒ “අම්මේ මට බඩගිනියි”

ගාල්ලේ මහින්ද විද්‍යාලයේදී බුද්ධි වික්‍රමට මුණගැසුණු ධම්ම ජාගොඩ නම් මිතුරා ඔහුගේ ජීවිතය වෙනස් කළේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණු ධම්ම තම මිතුරා වූ බුද්ධිටත් එම දෙපාර්තමේන්තුවටම සැලසුම් ශිල්පියකු ලෙස එක්වීමට අවශ්‍ය මඟපෙන්වීම කළේය. එහිදි බුද්ධිගේ මිතුරකු බවට පත්වූ නෝටන් දයානන්ද දිනක් ජී.ඩී.එල් පෙරේරාගේ ‘කලාපෙළ‘ නාට්‍ය පුහුණුවක් සඳහා බුද්ධි රැගෙන ගියේය. කුඩා කාලයෙන් පසුව ‘මඟුල් මතය‘ ගීත නාටකය හරහා වේදිකාවට පිවිසීමට බුද්ධි වික්‍රමට අවස්ථාව සැලසෙන්නේ මේ ආකාරයෙනි.

කලා පෙළ නිෂ්පාදනයක් වූ ‘සාමා‘ චිත්‍රපටයෙන් බුද්ධි වික්‍රම සිනමා නළුවෙක් විය. අපි ඒ මතකය ඔහුගෙන් විමසුවෙමු.

සාමා චිත්‍රපටය එක්තරා විදිහක පර්යේෂණයක්. අපි උත්සාහ කළේ පසුව දෙබස් ගැනීමකින් තොරව ඒ මොහොතේම අදාළ දර්ශන දෙබස් සමඟම රූගත කරන්න. නමුත් කපුටන්ගේ සද්දෙ නිසා ඒ දේ කරගන්න අපිට බැරි වුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කඩවත පිහිටි දර්ශන තලයට ඇවිත් අපි හැමෝවම දිරිමත් කළා.“

“වැලිකතර චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ මිත්‍රයෙක් විදිහට වගේම ‘හාරලක්ෂය‘ චිත්‍රපටයේ මංකොල්ලකරුවකු විදියට මම රඟපෑවා. ඊට අමතරව දහසක් සිතුවිලි, සැඬොල් කඳුළු, සාරංගා, අන්තිම රැය, තරණය, රොමියෝ ජුලියට් කතාවක් වගේ චිත්‍රපටි ගණනාවකට දායක වුණා.“

The greatest gift, The village by the sea, The good marriages, The water තමයිමම රඟපෑ විදේශ චිත්‍රපට සිනමා නිර්මාණ. ඒ වගේම මේ වගේ අවස්ථා ලැබුණු නිසාම ඔස්කාර් සම්මාන ලාභී මරේ ඒබ්‍රහම්ගේ මිතුරෙකු බවට පත්වෙන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒක ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.“

විජය කුමාරණතුංග කියන්නේ මගෙ හොඳම යාළුවෙක්. එක වතාවක් කළුතර බෝධිය වඳින්න විජය ඇවිත් ඉන්න වෙලාවක මම විජයට ඩිස්ටර්බ් වෙයි කියලා ළඟට ගිහින් කතා කළේ නැහැ. විජය ඒකට මගේ ළඟට ඇවිත් නොසෑහෙන්න දොස් කිව්වා. ධම්ම ජාගොඩගේ මරණය දවසේ පිට්ටනියට යද්දි විජයට පරෙස්සම් වෙන්න කියලා මම කිව්වා. “මාව කවුද මරන්න ඉන්නෙ බං” කියලා විජය මගෙන් ඇහුවා. විජය මැරුණ වෙලාවේ මගේ නෝනා දුක දරාගන්න බැරි නිසාම මළගෙදර ගියේ නෑ. දුව මාත් එක්ක ගියත් විජයගේ දේහය දිහා බැලුවේ නෑ. විජයගේ මරණය අපිට තදින් දැනුණා.“

සිනමා ගමනින් අනතුරුව ‘එක මවකගේ දරුවෝ‘ ටෙලි නාට්‍යයෙන් අරඹා ටෙලි නාට්‍ය පනහක පමණ රංගන දායකත්වය බුද්ධි වික්‍රම ලබා දී තිබුණි. ඒ අතරින් තමන් ‘දු දරුවෝ‘ ටෙලි නාට්‍යයේ පුන්සිරිගේ පියා ලෙස සිදු කළ චරිතයට බෙහෙවින් ප්‍රිය කළ බව පවසන බුද්ධි ‘අඹ යහළුවෝ‘ ටෙලි නාට්‍යයේ කැන්දලන්ද චරිතය නිරූපණය කිරීම නිසා ඇතැම් රසිකයන් “ඔබතුමාගෙන් අපි ඔහොම චරිත බලාපොරොත්තු වෙන්නේ නැහැ” යැයි කී බව පැවසුවේය. තාරාදේවි නාට්‍ය ගැන සඳහන් කළ ඔහු “මට ඉතිං අනෝජව කසාද බඳින්නත් වුණානේ” කියමින් සිනාසුණේය. බුද්ධිගේ විවාහ ජීවිතය ගැන විමසන්නට සිතුණේ මේ කතා බහ යන අතර තුරය.

මීට අමතරව , පළිඟු මැණිකේ,හිරුට මුවාවෙන්,ගම්පෙරළිය,බැද්දේගෙදර,බූමරංගය,සුසීමා,පිටගම්කාරයෝ,සදගලතැන්න වැනි ටෙලිනාට්‍යය වලද කැපී පෙනෙන චරිත නිරූපණය කලා….

“රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා සහ ජයන්ත ධර්මදාස මහත්තයා කියන්නේ මට ගොඩක් උපකාර කළ දෙන්නෙක්. ගොඩක් අවස්ථාවල රෝහල් බිල්වලට සහන රැසක් දුන්නා. ඒ උපකාර මට හැමදාම මතකයි.“

අපි ඔහුට දීර්ඝායුෂ සමඟ ඉක්මන් සුව පතමු..?

(තොරතුරු අන්තර්ජාලයෙනි )

තුෂාර එස්. වීරසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *