Blonde (2022) English | Sinhala Article

Blonde (2022) English by Ramitha Vimukthi

Spoiler Alert!

Blonde චිත්‍රපටය පාධක කර ගන්නේ Joyce Carol Oates නම් ලේඛිකාව විසින් එම නමින්ම රචනා කළ නවකතාවයි . එය ප්‍රකට නිළි මැරිලින් මන්රෝගේ තිරයෙන් පිටුපස තිබුනු ඛේදනීය ජීවිතය පිලිබඳ සිදු කළ ප්‍රබන්දනාත්මක කියවීමක්. මෙය සැප්තැම්බර් මස 8 වැනිදා Netflix ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නවා. 2022 වර්ෂයට මන්රෝ මියගොස් වසර හැටක් පිරීමද සුවිශේෂී කාරණයක්. 8 වැනිදා මුදා හැරුණු මෙය ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාර අතරද දැඩි ආන්දෝලනයකට ලක්වනවා. විශේෂයෙන්ම මැරිලින් මන්රෝගේ චරිතය, තිරයේ ප්‍රභලව exploit කිරීම සම්බන්දව දැඩි විවේචනයක්‌ එල්ලවී තිබෙනවා. ඒ කෙසේ නමුත් මෙයින් පෙන්නුම් කරන්නේ අප තිරයේ දුටු මන්රෝ නම් නිළිය නොවේ. අප දැක ගන්නේ තිරයෙන් එපිට ජීවත් වූ නොර්මා ජීන්වය. එම නිසා මැරිලින් මන්රෝ කියන අප අසා තිබෙන සිනමා නිළියව Blonde ඔස්සේ බලාපොරොත්තු වන්නට එපා.

අප දන්නා බොහෝ ලෝක ප්‍රසිද්ද නළු නිළියන් සහ ගායක ගායිකාවන්, තම වෘතිය තුල කෙතරම් ජනාදරයට පත් වූවත් ඔවුන්ගේ සැබෑ ජීවිතය අදහාගත නොහැකි ආකාරයක අවුල් ජාලයක්. මෙය මැරිලින් මන්රෝගේ ජීවිතයටද බොහෝ සෙයින් අදාල වන කාරණයක්. තිරයේ මැරිලින් මන්රෝ වූවත් ඇය තිරයෙන් එපිට නොර්මා ජීන්. නොර්මා යනු තම කුඩා අවදියේ පටන්ම දැඩි ඛේදනීය සිදුවීම් රැසකට මුහුණ දුන් පුද්ගලයෙක්. ඇයගේ මව Gladys, schizophrenia නම් මානසික තත්වයෙන් දැඩිව පීඩා විඳින කාන්තාවක්. ඇයගේ තාඩන පීඩන කුඩා නොර්මාටද බලපෑමක් ඇති කරනවා. නොර්මා මුළුමනින්ම ජීවත් වූයේ ඇඳුරු සිර ගෙයක. ඇය තම ජීවිතයේ විවිද අවදීන් තුල යම් ආලෝකයක් දුටුවත්, නොර්මාගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත වූයේ අන්දකාරයේ. සිනමාවේ දිදුලන තරුවක් වූවත් තිරයෙන් එපිට තම ජීවිතයට ආලෝකයක්‌ අහිමිවූ ගැහැණියක් ඇය. මේ අප සැබවින්ම නොදුටු මැරිලින් මන්රෝ නොහොත් නොර්මා ජීන්ගේ කතාවයි.

අධ්‍යක්ෂක සහ තිර රචක Andrew Dominik මන්රෝගේ ජීවිතය හරහා, ඇයද අප සේම විවිද බාදක ඔස්සේ මෙම අසීරැ ජීවන අරගලයට මුහුණදුන් මනුෂ්‍යයෙක් ලෙස අපට ඉදිරිපත් කරනවා. මෙය බොහෝ සෙයින් ප්‍රබන්දයක් ලෙස ඉදිරිපත් කරත්, මන්රෝ අවුරුදු 36 ක්‌ ජීවමාන වූ එම අසීරැ ජීවිතය කෙලෙස පවත්වා ගත්තාද යන ප්‍රශ්නාර්ථය අපටත් ඉදිරිපත් කරනවා. මෙහිදී අපට අමතක කළ නොහැකි තවත් සුවිශේෂී කාරණයක් තිබෙනවා. මන්රෝ ජීවත් වූ කාල සීමාව හොලිවුඩය මුළුමනින්ම පුරුෂ මූලික කර්මාන්තයක්. මන්රෝ සිනමා කර්මාන්තය තුල මුහුණපාන බහුතරයක් අර්බුදයන්ට එයද ප්‍රධාන සාධකයක්. මන්රෝට තම කුඩා කාලයේ මව නිසා අත්විඳින මානසික පීඩනය, විවාහය තුල මුහුණපාන ගෘහස්ත හිංසනය සහ පුරුෂ මූලික සිනමා කර්මාන්තය තුල ඇයට සිදුවන ලිංගික සූරාකෑම අමු අමුවේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කර තිබෙනවා. එය කුරිරුයි/රළුයි සහ එය නරඹන්නා තුලද කම්පණයක් මෙන්ම මන්රෝ කෙරෙහිවද දැඩි සංවේදනාවක් ඇති කරනවා.

Joyce Carol Oates රචනා කළ එම නවකතාව කියවා නැති නිසා, Andrew Dominic කෙතරම් දුර‍ට එයට සාදාරණයක් කළාද යන කාරණයට නම් අදහසක් දීමට අපහසුයි. ඒ කෙසේ නමුත් අධ්‍යක්ෂක සහ තිර රචක Andrew Dominic, මැරිලින් මන්රෝ නම් එම දැවැන්ත චරිතයේ ඇතුලාන්තය ඉතා ගැඹුරින් අධ්‍යනය කර තිබුනා. විශේෂයෙන්ම මන්රෝ තම ජීවිතයේ විවිද කාල සීමාවල් තුල අත්විඳින මනෝභාවයන් සහ ව්‍යාකූල හැඟීම් ස්වභාවයන් ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර තිබුනා. මෙය පෙන්නුම් කිරීමට Chayse Irvin ගේ කැමරාකරණය, Adam Robinson ගේ සංස්කරණය සහ Nick Cave/ Warren Ellis ගේ සංගීත අධ්‍යක්ෂණයද ප්‍රධාන දායකත්වයක්‌ ලබා දුන්නා.

චිත්‍රපටය සම්බන්දව මා තුල ගොඩනැගුණු විවේචන කිහිපයක්ද ඉදිරිපත් කරන්නම්. චිත්‍රපටයේ දාවන කාලය පැය දෙකයි විනාඩි හතලිස් හතක්. මෙය දීර්ග දර්ශන කාලයක්. චිත්‍රපටය බොහෝ සෙයින් මන්රෝ ජීවිතය ඉතා graphical ලෙස ඉදිරිපත් කරද්දී එහි ඉතා ඒකාකාරී බවක් දැනුණා. මන්රෝගේ චරිතය චිත්‍රපටය පුරාවටම එළි දැක්වුවේ ඒකාකාරී character arc එකකින්. ඉතා දීර්ග දර්ශන කාලය නිසා මෙහි ඒකාකාරී බවක් සේම අවධානය බිඳ වැටෙන ස්වභාවයක් දැනුණා. පෙර සඳහන් කළ ආකාරයටම මන්රෝ තම ජීවිතය තුල මුහුණ දුන් විවිද ගණයේ ලිංගික ප්‍රචණ්ඩත්වයන් මෙහි ඉතා රළු විදිහට පෙන්නුම් කර තිබුනා. නමුත් එක්තරා දර්ශනයක් තිබෙනවා ඇය ජනාධිපතිවරයෙකුගේ අතින් දූෂණයට ලක්වන අවස්ථාවක්. මාගේ මතය අනුව නම් එය අනවශ්‍ය ලෙස චිත්‍රපටයට ඔබවා තිබෙන දර්ශනයක්. එපමණක් නොව එය චිත්‍රපටයේ ස්ථානගත කරන අවස්ථාවද නොගැලපෙන බවක් දැනුණා.

මෙහි මැරිලින් මන්රෝට පණදුන් Ana De Armas ඇයගේ සිනමා දිවියේ අභියෝගාත්මක සේම හොඳම රංගනය මෙය හරහා ඉදිරිපත් කරනවා. මන්රෝගේ ගති ලක්ෂණ සේම අගේ body language එක ඉතා හොඳ අධ්‍යනයකින් ඇය ඉදිරිපත් කර තිබුනා. මන්රෝ දෙස අපට ඉතා සංවේදනාත්මක කෝණයකින් බැලීමට පොළොඹවන ප්‍රධාන කාරණයක් Ana De Armas ගේ විශිෂ්ට රංගනය. ඒ සමගමArthur Miller ලෙස රංගනයෙන් දායක වුනු Adrien Brody ද ඔහුට හිමිවන සීමිත දර්ශන කාලය තුල ඉතා විශිෂ්ට ගණයේ රංගනයක් ඉදිරිපත් කළා. තවද මන්රෝ සහ මිලර්ගේ වේෂ නිරූපණය ඉතාම විශිෂ්ට මට්ටමකට කර තිබුනා. එයද අමතක කළ නොහැකිය.

මැරිලින් මන්රෝ නම් සිනමා තාරකාවව Blonde හරහා බලාපොරොත්තු වන්නට එපා. ඊට හේතුව මෙය තිරයේ පිටුපස ජීවත් වූ මන්රෝ පිළිබඳව සිදු කළ ප්‍රබන්දනාත්මක කියවීමක් නිසාවෙන්. එම නිසා ඔබම නරඹා මෙහි ගුණදෝස් තීරණය කරන්න.

Release date: September 16, 2022 (USA)
Director: Andrew Dominik
Screenplay: Andrew Dominik
Cinematography: Chayse Irvin
Budget: 22 million USD

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *