Best Romantic Tamil Movies of 80s’ | Sinhala Article

Best Romantic Tamil Movies of 80s’

❤Mouna Ragam (1986)

අධ්යක්ෂණය: මනිරත්නම්
සංගීතය: ඉලෛරාජා
රංගනය: කාර්තික්, මෝහන්, රේවතී සමග V.K. රාමසාමි
සිය පෙම්වතාගේ වියෝවෙන් කම්පනය වුනු හදැති දිව්යා කලකට පසුව දෙමව්පියන් විසින් යෝජිත විවාහයට එකඟ වෙමින් චන්ද්රකුමාර් සමග සරණ බන්ධනයට පිවිස ඔහු සමග දිල්ලි නගරයේ ජීවත් වන්නට යයි. ඔවුන්ගේ විවාහ ජීවිතය ගත වන අයුරු දක්වන ඉතා රමණීය සිනමා කාව්යයකි මෞන රාගම් හෙවත් ‘නිහඬ තනුව’. මෞන රාගම් පැරණි දමිළ ප්රේමකතා ප්රිය කරන්නන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්රපටියකි. මාස්ටර් ඉලෛරාජාගේ සංගීතය, S.P. බාලසුබ්රමානියම් හා S. චිත්රාගේ මියුරු ස්වර මාධූර්ය සමග P.C.ශ්රීරාම් ගේ කෘතහස්ත කැමරාකරණය චිත්රපටිය ආලෝකවත් කරති.
❤Moondram Pirai (1982)
අධ්යක්ෂණය: බාලු මහේන්ද්රා
සංගීතය: ඉලෛරාජා
රංගනය: කමල් හාසන් සමග ශ්රීදේවි
රිය අනතුරක් නිසා හිසට සිදුවන තුවාල හේතුවෙන් Retrograde amnesia තත්වයට පත්ව තම දෙමාපින් පවා හඳුනාගත නොහැකි භාග්යලක්ෂ්මී දැන් හැසිරෙන්නේ කුඩා දැරියක් විලසින් ය. රෝගය සඳහා ප්රතිකාර ලබමින් සිටින අතරතුර පැහැර ගැනීමකට ලක් වන ඇයව ඉන් පසු මැඩ්රාස් හි ගණිකා නිවාසයකට විකුණා දැමෙයි. එහිදී ඇයව දකින R. ශ්රීනිවාස් හෙවත් චීනු⁣ගේ සිත ඇය කෙරෙහි ඇදී යන්නෙ විශාල මුදලක් ගෙවා එම ගණිකා නිවාසයෙන් ඇයව නිදහස් කරගෙන ඇයව තමා පදිංචිව සිටින ස්ථානයට කැඳවා ගෙන යයි. එයින් පසුව ඔවුන්ගේ ජීවිත නදිය කෙලෙසක ගලා යන්නට ඇත්ද?
මෙම චිත්රපටිය සඳහා පාදක වන්නේ අධ්යක්ෂක බාලු මහේන්ද්රා සහ ජනප්රිය නිළි ශෝභා අතර පැවති ප්රේම සම්බන්ධය බව කියැවෙනවා. විවාහයෙන් කෙටි කලකින් පසුව ඇය මියගියා. වසර දහඅටක කෙටි ජීවිත කාලය තුළ ඇය මලයාලම් චිත්රපටි 45 පමණ, දමිළ චිත්රපටි 20 පමණ රංගනයෙන් දායකවී හොඳම නිළිය සඳහා වන ජාතික සම්මානයක් ඇතුලු තවත් සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
ඉතා සංවේදජනක හද කම්පා කරවන සුළු අවසානයක් සහිත මූන්ඩ්රම් පිරෛ චිත්රපටිය කමල් හාසන්ගේ අග්රගණ්ය රංගනය හැකියාව විදහා දක්වන තවත් නිර්මාණයක්. ඔහු මෙහි රංගනය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. පුරා දින 329 අඛණ්ඩව තිරගත වුනු මූන්ඩ්රම් පිරෛ අසූව දශකයේ තිරගත වුනු ප්රේමණීයම චිත්රපටිය ලෙස හැඳින්වුවද වරදක් නැහැ.
❤Sagara Sangamam(1983)(තෙලිඟු)
( Tamil – Salangai Oli)
අධ්යක්ෂණය: K. විස්වනාත්
සංගීතය: ඉලෛරාජා
රංගනය: කමල් හාසන් සමග ජය ප්රදා
භරත්නාට්යම්, කථක් වැනි ශාස්ත්රීය නර්තනය ප්රගුණ කර සිටින අති දක්ෂ නර්ථන ශිල්පයෙක් වන බාලක්රිෂ්ණා නොහොත් බාලුගේ ජීවිත කතාවයි සාගර සංගමම්.
බැංගලෝරයේ පල්ලවී සිනමා ශාලාවේ පමණක් නොකඩවා දින 511 තිරගත වුනු මෙය අති සාර්ථක චිත්රපටියකි. තෙලිඟු බසින් නිර්මාණය වුනු මුල් චිත්රපටිය Salangai Oli ලෙස දමිළ බසින් හඬකවා තමිල්නාඩුවේ තිරගත වුනු අතර මෙහි මලයාලම් සහ දමිළ භාෂා හඬකැවීම් සඳහා කමල් හාසන් විසින්ම තම හඬ දායකත්වය ලබාදී ඇත. ආන්ද්රා, කර්ණාටක, තමිල්නාඩු සහ කේරළ යන ප්රාන්ත හතර තුළම දින සියයකට වඩා තිරගත වුනු පළමු චිත්රපටිය වන්නේද සාගර සංගමම් චිත්රපටියයි. සංගීත අධ්යක්ෂණය වෙනුවෙන් ඉලෛරාජා මාස්ටර් සහ ගීත ගායනය වෙනුවෙන් S.P. බාලසුබ්රමානියම් මහතා ජාතික සම්මාන දිනා ඇත.
කමල් හසන්ගේ අනර්ඝ නර්තන හැකියාව චිත්රපටිය පුරාම කැපී පෙනෙයි. හොඳම නර්තන හැකියාවක් සහිත නළුවා ලෙස තමන්ව හඳුන්වා ගන්නා බොහෝ අය කමල්⁣ගෙ නර්තනය ඉදිරියේ අත පය ඉබාගාතේ විසිකරමින් හඬන කිරි දරුවන් හා සමාන බවද පැවසිය යුතුමය ?
❤Mundhanai Mudichu(1983)
අධ්යක්ෂණය: K. භාග්යරාජ්
සංගීතය:ඉලෛරාජා
රංගනය: K. භාග්යරාජ් සමග ඌර්වසී
තමන් ප්රිය කරන පුද්ගලයාගේ ප්රේමය දිනා ගැනීමට තරුණියක් දරන ප්රයත්නය මෙම චිත්රපටිය තුළින් සිනමා රූප ලෙස ප්රේක්ෂකයාට සමීප කරවයි.

ඉන්දියානු රුපියල් මිලියන තුනක පිරිවැයකින් නිපදවුනු මෙම චිත්රපටිය රුපියල් මිලියන හතලිහක් ආදායමක් ලබා ගත්තේ අඛන්ඩව සති විසිපහක් සිනමාශාලා තුළ තිරගත වෙමිනි. මලයාලම් සිනමා නිළි ඌර්වසීගේ පළමු දමිළ චිත්රපටියද වන මෙය කන්නඩ, තෙලිඟු සහ හින්දි භාෂා වලින් ප්රතිනිර්මාණය කර ඇත.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *