Bandula Galagedara Sri Lankan Actor | Sinhala Article

Bandula Galagedara Sri Lankan Actor by Thusha S Weerasinghe

සිකුරුලියාගෙන් ගිලිහුණු තරුව | බන්දුල ගලගෙදර

ලාංකේය සිනමාව බොහෝ ආභාසයන් ලබා ගත්තේ හින්දි සිනමාවෙනි. එසේත් නැතහොත් තමිල්නාඩු සිනමාවෙනි. වර්තමානයේ කෙසේ වෙතත් ඒ කාලයේ හැටියට ඒවා හරි අපූරු නිර්මාණයන්ය.

මේ සිනමා පට උදෙසා කවර ආකාරයේ විෂයයක් හේතු කර ගත්තද මෙහි රඟන නළුවන්ට එකම ආකාරයේ වූ මොඩලයක් තිබිණි. එනම් උස්මහත් වූ ශරීර ඇත්තන්, රැලි ගැසුණු කොණ්ඩා සහිත ඇත්තෝ, ගිනිකූරු පොයින්ට් ඇති සිනමා නළු­‌ෙවා් හා සරල ලෙසින්ම කියනවා නම් ලස්සන පිරිමින් මේ මොඩලයට අයත් විය.

ලාංකේය සිනමාවේ චිත්‍රපට තුළද මේ ආකාරයේ සිනමා නළුවන් බිහි වන්නට හේතු සාධක වූයේ බොහෝ නිර්මාණයන් ගලාගෙන ආවේ උතුරු ඉන්දියානු හා දකුණු ඉන්දියානු සිනමාපට මුල් කරගෙන බැවිනි. කෙසේ වෙතත් කාලයක් යන විට ලාංකේය සිනමාව තුළ විවිධ නිර්මාණ බිහි වන්නට වූවා මෙන්ම විවිධ ගණයේ දක්ෂතා ඇති චරිතාංග නළු නිළියන් ද බිහි වන්නට විය. ඒ හා සමඟම එතෙක් පැවැති ඒකාකාරී වූ නළු මුහුණු ද ක්‍රමිකව වෙනස්ව ගොස් ප්‍රායෝගික සමාජයේ එදිනෙදා ගැටෙන මුහුණු හා සමාන චරිතයන් සිනමාපට තුළින් ද අපට දැකගන්නට හැකි විය.

සමහර චරිත ආශ්‍රයෙන් කළ සිනමාපටවල දක්නට හැකි වූයේ එතෙක් සමහර චිත්‍රපටවල දක්නට නොවූ චරිතයන්ය.

 

“කොමල ලියා බොළඳ ලියා

මාව දමා යන්න ගියා

සියුමැලියා සිකුරුලියා…

ගත සීතල පහස ලබා

ළැම රන්වන් සුවඳ සොබා

මුව මී රොන් ලැබුව මෙමා

සිකුරුලියා

මාව දමා යන්න ගියා…

නෙත ඇඳි රුව ඔබය සුදූ

අද ඒ නෙත කඳුළු බිඳූ

ආදරයෙන් ඔබව හැදු

සිකුරු ලියා

මාව දමා යන්න ගියා

සිකුරු ලියා..

ආදරයෙන් ඔබ හින්දා

මා මනසෙන් දුක් වින්දා

පාළුව ළඟ මා රන්දා

සිකුරුලියා

මාව දමා යන්න ගියා

සිකුරුලියා..

මේ මීට වසර 44කට පමණ පෙර තිරගත වූ ලංකාවේ දෙවැනි සිනමාස්කෝප් චිත්‍රපටය වූ සිකුරුලියා චිත්‍රපටයේ ගීතයකි. හරියටම කියනවා නම් එය තිරගත වූයේ 1975 සැප්තැම්බර් 27 වැනිදාය. චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ එහි රංගනයෙන් සම්බන්ධ වූ ප්‍රධාන නළුවා නිසාය. ඔහු නමින් බන්දුල ගලගෙදරය. ඒ සඳහා රංගනයෙන් සම්බන්ධ වූ අනෙකුත් නළු නිළියන් වූයේ එවකට ජනප්‍රියත්වයේ සිටි ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, සුවිනීතා වීරසිංහ යන අයයි. සුවිනීතා සම්බන්ධයෙන් බන්දුල වරක් ප්‍රකාශ කර සිටියේ ඇය ඉතා නිහතමානී කාන්තාවක බවත් ඔහුගේ අඩුපාඩු පෙන්වා දෙමින් රංගනයට තවත් උනන්දු කළ බවත්ය. සිකුරුලියා චිත්‍රපටයේ විස්තරය ගැන කතා කරනා මොහොතක බන්දුල මෙසේ සඳහන් කර තිබිණි. එය අපූරු කතා පුවතකි.

“මගේ කලා ජීවිතය ආරම්භ වුණේ පාසල් කාලයේදීමයි. පාසලේ රඟ දැක්වූ කාලගෝල නාට්‍යයේ කාලගෝල චරිතය නිරූපණය කළා. මාව හොඳම නළුවා ලෙසින් තෝරා සම්මානද ලැබුණා. මම කැලණිය ධර්මාලෝකයේ ඉගෙන ගන්නා කාලයේ ඒ සිදුවීම වුණේ. අද ප්‍රකට ගායකයෙක් වී සිටින සුනිල් එදිරිසිංහ මගේ බංකුවේ එක් කෙළවරක වාඩිවී සිටියේ. මම ඉපදුනේ කැලණියේ හිඹුටුවැල්ගොඩ. එදා මං ඉදිරිපිටදීම එහි ගුරුවරයෙක් සුනිල්ට කීවා ඔයා කවදා හරි දක්ෂ ගායකයෙක් වෙනවා කියා. මම රඟපාලා සම්මානත් ලබා සිටි නළුවෙක්. ඒත් මට කීවේ නැහැ “බන්දුල ඔබ නළුවෙක් වෙයි.” කියලා මට නිකන් හිතට දුකක් ආවා. “හොඳයි ගුරුතුමනි, මම කවදාහරි නළුවෙක් වෙනවා” කියලා මම හිතා ගත්තා. ඒ එක්කම මගේ හිතට ආවා බන්දුල ඔබ මිට්ටෙක්නේ කොහොමද නළුවෙක් වෙන්නේ කියලා. ආයෙත් මෙහෙම හිතුනා. කාලගෝල මිටි මිනිහෙක්නෙ කවුරු හෝ කාලගෝල චරිතයෙන් චිත්‍රපටයක් කළොත් මට හරියාවි ඒ චරිතය කියලා.”කාලය මිනිසුන්ට අභියෝග කරන්නේ ඉඳහිටය. එය යහපතට මෙන්ම අයහපතටද විය හැක. නමුත් කාලය විසින් බන්දුලට ගෙන දෙනු ලැබුවේ අපූරු වරමකි. ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ මැද මාවතේ සිනමාකරුවා ලෙසින් විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවේ එච්.ඩී. ප්‍රේමරත්නය.

හැත්තෑව දශකයේදී එච්.ඩී. ප්‍රේමරත්නයන්ට නව ආරක සිනමා පටයක් නිපදවීමේ අවශ්‍යතාවක් තිබිණි. ඒ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෝරා ගත්තේ වෙනම කතා නායකයකු සහිත චරිතයකි. ඒ කාලගෝල චරිතයයි. දිනක් බන්දුල ගලගෙදරව හමු වූ එච්.ඩී. ප්‍රේමරත්නයන් පවසා ඇත්තේ “මම බන්දුලව සිනමා නළුවෙක් කරනවා.” යන්නයි.

ඉන් පසු එච්.ඩී. ප්‍රේමරත්න බන්දුලව චිත්‍රපට රූගත කරන ස්ථාන කිහිපයකටම රැගෙන ගිය අතර අනතුරුව ඔහු අත තැබුවේ චිත්‍රපට තිර පිටපතකි. තිර පිටපත කියවා බැලූ බන්දුල ගලගෙදර ඉන්පසු ආරූඪ වූයේ ජොනී බාලසූරියටය. ඒ සිකුරුලියා චිත්‍රපටයේ ආරම්භයයි. එච්.ඩී. ප්‍රේමරත්නයන් හරහා කාලය බන්දුලට ගෙනදුන් වරම වූයේ සිකුරුලියා චිත්‍රපටයයි. එච්.ඩී. ප්‍රේමරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිකුරුලියා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බන්දුල ගලගෙදර චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් සමඟින් සියලු දෙනා කතා බහ කරන චරිතයක් වන්නට විය.

පසුකාලීනව ඔහු පවසා තිබූ පරිදි සිකුරුලියා චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ලැබී තිබුණේ රුපියල් 3,000ක මුදලකි. සිකුරුලියා චිත්‍රපටය තිරගත වීමෙන් පසු දිනක ගාමිණී ෆොන්සේකා බන්දුලට පණිවිඩයක් යවා ඇත්තේ ඔහු හමු වන ලෙසටයි. මුලින්ම චිත්‍රපටයේ රංගනය සම්බන්ධයෙන් ගාමිණී විසින් ඔහුට ප්‍රශංසා කරන ලද අතර ඉන් පසු බන්දුලට ගාමිණීගෙන් ලැබුණේ හොඳවයින් කම්මුල් පහරකි.

“ඔබේ රඟපෑම නම් ඉතා ඉහළ තමයි. ඒත් ඇයි අර රුපියල් 3,000කට රඟපෑවේ?”

ඒ ගාමිණීගේ කම්මුල් පහරේ රහසයි.

“බන්දුල උඹට මම හැදෙන්න ඒ පහර ගැහැව්වෙ. උඹ හොඳ නළුවෙක් ඒක ආරක්ෂා කරගනින්. මින් පස්සෙවත් හොඳට අය කරපන්.”

කම්මුල් පහරෙන් අනතුරුව ගාමිණීගෙන් බන්දුලට ලැබුණේ එවන් උපදෙසකි. කෙසේ වෙතත් සිකුරුලියා චිත්‍රපටියට පසුව ඔහු චිත්‍රපට කිහිපයකම චරිත රඟ දැක්වීය. මරුවා සමඟ වාසේ, සීතා දේවි, සසරක පැතුම, ලොකු තාත්තා, මවුන්ටන් ඉන් ද ජන්ගල්, කැකිල්ලේ රජ්ජුරුවෝ, කෝ හතුරෝ, රිදී තැල්ල එවන් චිත්‍රපට කිහිපයකි.

ඊට අමතරව ඉන්ගම්මාරුව මාලා නාටකයේ කොටස් කිහිපයකට රංගනයෙන් දායක විය. බන්දුල රඟපෑ චිත්‍රපට අතුරින් ඔහු අවසන් වරට පෙනී සිටියේ රාස්ස කැලේ චිත්‍රපටයටයි.

( දිණමින පුවත්පතේ,රාජිත බස්නායක මහතා ලිවූ ලිපියක් ඇසුරින් සකස් කෙරිණ )

තුෂාර එස්. වීරසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *