Balachandra Menon Indian Film Actor, Director | Sinhala Article

Balachandra Menon: An Indian ‘Rarest of Rare’ 

බාලචන්ද්ර මෙනන්: මලයාලම් සිනමාවේ විශ්මිත මිනිසා

1974 වර්ෂයේදී ජනමාධ්යකරණය පිළිබඳව උපාධිය හදාරා නවක පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස මලයාලම් සිනමාව සහ නළු නිළියන් පිළිබඳව පුවත්පත් වලට ලිපි සම්පාදනය කළ විසිදෙහැවිරිදි තරුණ මාධ්යවේදියා පසුකාලීනව සමස්ථ මලයාලම් සිනමා කර්මාන්තයම තම අණසකට යටත් කර ගනු ඇතැයි ඔහු හා සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුනු එවකට මලයාලම් නළු නිළියන් කිසිදා නොසිතන්නට ඇත. නමුත් ඔවුන් පසුකාලයකදී ඔහුගේ චිත්රපටි වල රඟපෑහ.
චිත්රපට අධ්යක්ෂකවරයෙක්, නළුවෙක්, පිටපත් රචකයෙක්, චිත්රපට සංස්කාරකවරයෙක්, සංගීතඥයෙක්, ගායකයෙක්, නිෂ්පාදකවරයෙක් සහ චිත්රපට බෙදාහරින්නෙක් ආදී ලෙස චිත්රපටි කර්මාන්තයට අදාළවන සියලුම භූමිකාවන්⁣ හොබවා අමතරව නීතීඥයෙක් සහ ලේඛකයෙක් ලෙස ද කටයුතු කර,ජාතික චිත්රපට සම්මාන ද්විත්වයක් ද ඉන්දියානු රජයෙන් පිරිනමන ‘පද්ම ශ්රී’⁣ ගෞරව නාමය ද සම 2008 වසරේදී ‘Limca Book of Records’ හි පිටු අතර තම නම සටහන් කරගැනීමට ද ඔහු සමත් වෙතැයි හැත්තෑ දශකයේ මැද භාගයේ ඔහු විසින් රචනා කරල ලද සිනමා ලිපි කියවමින් සිටි එකදු පාඨකයෙක් හෝ නොසිතන්නට ඇත. නමුත් වසර කිහිපයකට පසුව පසුව ඔවුන්ට ඒ තරුණ මාධ්යවේදියාගේ චිත්රපට නරඹමින් සිටියහ.
මලයාලම් සිනමා වංශයෙන් සෑහෙන ප්රමාණයකට හිමිකම් කියන ඔහු අන් කවරකු වක් නොව පද්ම ශ්රී බාලචන්ද්ර මෙනන් ය. ශ්රී ලාංකික මලයාලම් රසික ප්රජාවට අතිශය ආගන්තුක නමුත් බාලචන්ද්ර මෙනන් නොදන්නා මලයාලියෙකු මෙලොව සිටිය නොහැක.
කුඩා වයසෙහි සිටම කලාව කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ බාලචන්ද්ර මෙනන් ජනමාධ්ය පාසලින් උපාධිය ලැබූ පසු සිනමාව පිළිබඳව ලිපි ලියමින් සිනමා නළු නිළියන් ලුහු බැන්දේ තමාගේ දීර්ඝකාලීන සිහිනය වූ චිත්රපට අධ්යක්ෂකවරයෙක් බවට පත්වීම ට එමගින් සුළු හෝ උත්ප්රේරණයක් ලැබේ යැයි සිතමිනි. උද්යෝගීමත් තරුණයෙක් වුනු ඔහුට ⁣චිත්රපටයක රූගත කිරීමක් අතරතුර විනාඩි විස්සක කාලයක් සඳහා ප්රේම් නසීර් සමග පුවත්පත වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අවකාශයක් ලැබුණි.
එම සාකච්ඡාව අවසාන වූ පසු මෙලෙස තමා සමග කතාබහ කිරීමට දැක්වූ දැඩි උනන්දුව පිටුපස යම් විශේෂ හේතුවක් තිබේදැයි ප්රේම් නසීර් බාලචන්ද්ර තරුණයාගෙන් විමසා සිටියේ ය. තමා මෙහි පැමිණියේ වාර්තාකරුවෙකු ලෙස බවත් වෙනත් හේතුවක් නොමැති බවත් බාලචන්ද්ර පැවසූ නමුත් එය පිළිනොගන්නා නියායෙන් තමා ඉදිරිපිට සිටින තරුණයාගේ උද්යෝගයෙන් බබලන දෑස් දෙස මොහොතක් බලා සිටි ප්රේම් නසීර් යමක් වටහාගත්තාක් මෙන් තම හිස ද සොලවමින් පැවසුයේ එය පිළිගත නොහැකි බවත් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට වඩා යමක් නිසැකවම ඇති බවත් ය. එයින් වසර අටකට පසු 1982 වසරේ බාලචන්ද්ර මෙනන් අධ්යක්ෂණය කළ චිත්රපටයක ප්රේම් නසීර් ප්රධාන නළුවා ලෙස රඟපෑ අතර පළමු වරට එම දර්ශන තලයට පය ගැසූ මොහොතේ ප්රේම් නසීර් ගේ මුවින් පිටවූ පළවෙනිම වදන වූයේ “මම එදා ම මේක දැනගෙන හිටියා” යන්නයි.
චිත්රපට සියයකට අධික සංඛ්යාවකට නළුවෙක් ලෙස රංගනයෙන් දායක වී ඇති බාලචන්ද්ර මෙනන් ප්රේම් නසීර්, සිවාජි ගනේශන්,රජිණිකාන්ත් සහ කමල් හාසන් ආදී දැවැන්ත දකුණු ඉන්දියානු නළුවන් බොහෝ දෙනෙකු සමග රඟපා ඇත.
අධ්යක්ෂකවරයෙක් ලෙස ඔහු අධ්යක්ෂණය කර ඇති චිත්රපටි සංඛ්යාව 37 වන අතර 1997 වසරේ හොඳම නළුවා සඳහා වන ජාතික සම්මානය බාලචන්ද්ර මෙනන් දිනාගත්තේ ද තමා විසින් ම අධ්යක්ෂණය කළ Samaantharangal චිත්රපටයේ රංගනය වෙනුවෙනි. එසේම එම චිත්රපටය Best Feature Film සඳහා වන ජාතික සම්මානයද දිනා ගැනීමට සමත් විය.
තිරපිටපත් රචකයෙක් ලෙස චිත්රපට 38 ක් සඳහා දායක වී ඇති බාලචන්ද්ර මෙනන් සංගීත අධ්යක්ෂකවරයෙක් ලෙස චිත්රපට හතරක සංගීත නිර්මාණය සිදු කර ඇත.
ඔහුගේ V&V බැනරය යටතේ චිත්රපට හතරක් නිෂ්පාදනය කර ඇති බාලචන්ද්ර මෙනන් චිත්රපට හතක් බෙදාහැර ඇත.
චිත්රපටයක පිටපත රචනා කර, එහි ප්රධාන චරිතය රඟපාමින් චිත්රපටයේ අධ්යක්ෂකවරයා ලෙසද කටයුතු කිරීම තරමක් දුෂ්කර කටයුත්තකි. එලෙස චිත්රපට 26 ක අධ්යක්ෂකවරයා,පිටපත් රචකයා සහ පුධාන නළුවා ලෙස කටයුතු කරමින් වාර්තාවක් පිහිටවූ ජනප්රිය හොලිවුඩ් නළුවෙක් සහ අධ්යක්ෂකවරයෙක් වන වුඩී ඇලන් ගේ වාර්තාව ද අභිභවා යමින් චිත්රපටි 29 ක ප්රධාන නළුවා, අධ්යක්ෂකවරයා සහ පිටපත් රචකයා ලෙස කටයුතු කිරීමට බාලචන්ද්ර මෙනන් සමත් විය.
2008 වසරේ Limca Records පිටු අතර ඔහුගේ නම සටහන් වූයේ ඒ වෙනුවෙනි. මෙම කාරණයේ දී බාලචන්ද්ර මෙනන් හා ආසන්නයට හෝ පැමිණීමට හැකි වුනු ඉන්දියානුවන් වන්නේ ජනප්රිය දමිළ නළුවන් වන K. භාග්යරාජ් සහ T.රාජේන්දර් පමණි. භාග්යරාජ් චිත්රපට 23 සඳහා ප්රධාන නළුවා, අධ්යක්ෂකවරයා සහ පිටපත් රචකයා ලෙස කටයුතු කර තිබන අතර TR එලෙස නිර්මාණය කළ චිත්රපට සංඛ්යාව 15 කි.

1975 වස⁣රේ සිනමා මාධ්යවේදියෙකු ලෙස ඇරඹුණු ඔහුගේ ගමනට මේ වන විට දශක හතරක් ඉක්මවා තිබේ. විවිධ ආකාරයට කලින් කල ඇති වන ‘සිනමා රැළි’ වලින් නිර්මාණකරුවෙකුට බාධාවක් නැති බව විශ්වාස කරන බාලචන්ද්ර මෙනන් තමන්ටම අනන්යය සිනමා කලාවක් ගොඩ නගමින් තවමත් සියලු රැළි අතර රැඳී සිටීමට සමත් වී තිබෙයි. කිසි විටක සුපිරි තරු නළුවන් ම පමණක් වෙනුවෙන් චිත්රපටි අධ්යක්ෂණය නොකල බාලචන්ද්ර මෙනන් හැකි සෑම විටමක නවක නළුවන් කෙරෙහි අනුග්රහයක් දැක්වූ අධ්යක්ෂකවරයෙක් ලෙසද ප්රකට ය.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *