Azhagan (1991) Tamil

Azhagan (1991) 

බොහෝ කලකට පෙර, එනම් අනූව දශකයේ මුල භාගයේ දිනක රාත්රී සමයෙහි පෙම්වතුන් යුවළක් දුරකථන සංවාදයක යෙදෙති. දෙදෙනාගේම පසුබිමෙන් පෙනෙන්නේ රූපවාහිනියේ නොයෙක් නොයෙක් වැඩසටහන් විකාශය වන ආකාරයයි. දුරකථන සංවාදයෙහි කාලය ගත වන අයුරු පෙන්වන්නේ ඔරලෝසුවට අමතරව පසුබිමින් පෙනෙන රූපවාහිනී යන්ත්රයේ විකාශය වන වැඩසටහන් වලිනි.
කාලය ගලා යයි, මහමඟ මහා රථ ප්රවාහයද ගලා යයි, දුරකතන සංවාදයද අනවරතව ගලා යයි. ටෙලි නාට්යය ආදිය අවසන්ව, ප්රවෘත්ති ප්රකාශයෙන්ද අනතුරුව රාත්රී එකොළහට එවකට තිබුනු එක රූපවාහිනි චැනලය වන දූර්දර්ශන් චැනලය සිය විකාශන කටයුතු නවතා දමයි. නමුත් පෙම්වතුන්ගේ දුරකථන සංවාදය නිමා වන්නේ නැත.
ඔවුහු ඉඳ ගනිමින්, සිට ගනිමින්, ඇවිදිමින්, ඇඳකත් බිමත් වරින්වර වැතිරෙමින්,ජනෙල් රෙදි වල එල්ලෙමින් කතා කරති. මහ මග වාහන වලින් හිස්ව පාළුවට ගොස් ඇත. නමුත් කාලය ගත වනු නොදැනෙන පෙම්වතුන්ගේ කතාබහ තවම නිමව නැත. රාත්රිය කෙමෙන් ගෙවී යයි. නගරය ද සෙමෙන් පිබිදෙයි. දූර්දර්ශන් චැනලය නැවත උදෑසන හතට සිය විකාශන කටයුතු අරඹයි. එසේ වුවත් පුරා රැයක් කළ කතාබහ නැවැත්වීමේ අභිලාෂයක් පෙම්වතුන් දෙපළට ඇති බවක් තවම නොපෙනෙයි. උදෑසන තේ රැගෙන තම ස්වාමියාගේ කාමරයට පිවිසෙන සේවකයා මවිතයට පත් වෙයි. ඔහුගේ ස්වාමියා සිටින්නේ බිම වැතීරී දුරකථනයෙන් කථා කරමිනි. දැන් වත් දුරකතනයට යම් ඉසුඹුවක් ලැබේද….
විශිෂ්ඨ සිනමාවේදී K. බාලචන්දර් මැතිතුමා විසින් අධ්යක්ෂණය කළ අලගන්(1991) දමිළ චිත්රපටිය සඳහා සන්ධ්යා සමග අභවප්රාප්ත ප්රවීන ගායන ශිල්පී S.P. බාලසුබ්රමානියම් මැතිතුමාගේ සංවේදී ස්වරයෙන් සහ මරගත මනීගේ මියුරු සංගීතයෙන් හැඩවුනු අතිශය ජනප්රිය ගීතයක් වන ‘සංගීද ස්වරංගල්
ගීතයෙහි පසුබිම් කථාවයි මා ඉහත සඳහන් කලේ.
සංගීද ස්වරංගල් ගීතයේ ඇති විශේෂත්වය වන්නේ එම සම්පූර්ණ ගීතයම දෙදෙනෙකු අතර ඇති වන (දුරකථන) සංවාදයක් ආකාරයෙන් රචනා කර තිබීමයි.
-සංගීතයෙහි ස්වර තිබෙන්නේ හතක් ද?
නැතිනම් ඊට වඩා වැඩිද?
මම ව්යාකූලව සිටිමි.
+මගේ නිවසට දැන් රාත්රිය උදාවී ඇත.
ඔබේ නිවසෙහි දැන් ගෙවෙන්නේ රාත්රියද?
නැතිනම් දහවල ද?
මම ව්යාකූලව සිටිමි
-මම යමක් ගැන සිතමින් සිටිමි.
+මම ද යමක් ගැන සිතමින් සිටිමි.
-නමුත් මට එය මතකයට නගා ගත නොහැක.
+නැවත සිතන්න,එවිට මතක් වේවි.
-සිතන්නට නොහැක.
+නිදාගන්න, එවිට සිහිවේවි.
නිදිමතක් ද නැත.
+නින්ද එන තෙක් ගීයක් ගයන්නම්……
[ස්තුතිය: පීටර් අයියාට, ජෙගන්ට සහ මාෂල්ට….❤]

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *