Ayyappanum Koshiyum (2020) Malayalam | Sinhala Article

Ayyappanum Koshiyum (2020) Luckshman Aranwala

ඩවුන්ලෝඩ් කරගෙන සෑහෙන කාලයක් වුණත් දවසින් දවස මඟෑරිලා අන්තිමේදි අමතකම වෙලා ගිය චිත්‍රපටයක්. රූපවාහිනී ප්‍රදර්ශනයක් නිසාම ආපහු මතකය අවදිවෙලා ඊයේ රෑ ටීවී එකේම බැලුවා. මොකට මෙච්චර කල් මේක නොබලා කල් දාලා වෙන වෙන ඒවා බල බලා හිටියද කියල හිතුණා. ‘Kala’ (2021) මලයාලම් චිත්‍රපටය කරළියට ආපු වෙලාවෙදිත් ගොඩ දෙනෙක් මේ අයියප්පන් Vs කෝෂි වලිය ගැනත් කතා වුණා. ඒත් ඒක මෙච්චර දරුණු ගණයේ ද්වන්ද්ව සටනක් කියල නම් කිසිම හැඟීමක් තිබ්බෙ නෑ. අනික මේකෙ පොලිස් භූමිකාව වෙනම ලෙවල් එකක එකක්. කොහොමත් දකුණු ඉන්දීය සිනමාවේ පොලිස් විස්තර වලදී මලයාලම් සිනමාවෙන් දැකපු පොලිසිය වෙනස්ම මුහුණුවරකින් යුතුව තමයි නිරූපණය වෙන්නේ.
කෝෂි බලපුළුවන්කාරයෙක්, එහෙමත් නැත්නම් බලපුළුවන්කාරයෙක්ගෙ හිතුවක්කාර පුතෙක්. අයියප්පන් මනුස්සකම් දන්න නීතිගරුක පොලිස් නිලධාරියෙක්. මේ දෙන්නගෙ ගැටුම ආරම්භ වෙන්න සෑහෙන ප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවා. ගැටුමට පාදක වෙන මූලික කාරණා ගත්තම ඒ හැම එකක්ම සාධාරණ මට්ටමකට වැටෙනවා. ඔව්, පොලිසිය ඇතුළෙදි කෝෂි ගෙ හැසිරීම පවා. ගැටුමක් නිරාකරණය කරගන්න වඩාත්ම බලපාන්නෙ මූලික කතාබහම තමයි. මේක කොහොමත් ගොඩින් බේරගන්න තිබ්බ කේස් එකක්. හැබැයි සිද්ධ වෙන්නෙ අන්තිම නරක වෙලාවක. ඒත් ඉතින් ගොඩින් බේරගන්න අවස්ථාවක් තිබියදීත් වැඩේ කණපිට හැරුණා, පත්තු වුණා. ඒක හරියට ඉතින් යුද අවි ගබඩාවකට ගිනි ඇවිලුණා වගේ තමා.
එකෙන් අනිකා නසන තුරුම කෙරෙනා සටනක් විදිහට මේක ඇවිලෙන විදිහ මරු. දෙන්නම ප්‍රබල විදිහට තිරය මත සම අයිතීන් ලබාගන්නවා. රංගනය පැත්තෙන් පෘථිවිරාජ් සහ බිජු මෙනන් ගේ චරිත නිරූපණය සැබෑම වලියක සිරි මවනවා. මුලිනුත් සඳහන් කළා වගේ පොලිසියේ මැදිහත්වීම එක්කයි කතන්දරය සහ වලිය නිරන්තරයෙන්ම වඩාත්ම ඔපමට්ටම් වෙන්නේ. මරාගන්න දෙන්නා පික්චර් එක නම් පොලිසිය තමා ෆ්‍රේම් එක වෙන්නෙ. රවුඩිද, පොලිස්ද කියන භූමිකාවන් වෙනුවෙන් මලයාලම් සිනමාවේ අනන්‍යතාවය නම් හිතාගන්න බැරි රටාවක්. ත්‍රිල් එකද, හාස්‍යයද, කුතුහලයද සේරම තියෙනවා. සංගීතයටත් ලොකුම ක්‍රෙඩ්ට් එකක් හිමිවෙන්නම ඕන. ආරම්භක දර්ශනයේ ඉඳන්ම චිත්‍රපටය පුරාවටම විහිදෙන මාරම සවුන්ඩ්ට්‍රැක්ස් කිහිපයක්ම අහන්න ලැබෙනවා.
අනික් පැත්තෙන් පොලිස් කාකි නිල ඇඳුම ඇතුළෙ ඉන්න සාමාන්‍ය මනුස්සයව නිතරම ඉස්මතු කරවල පෙන්නන්න හදනවා. මොනම බලවතෙක් එක්ක වුණත් හැප්පෙන්නෙ ඒ සාමාන්‍ය මනුස්සයම තමා. මෙතනදී අයියප්පන් ව අසාමාන්‍ය අයෙක් විදිහට ඉදිරිපත් කරනවා වගේ පෙනුණත් ඔහුගේ පෞද්ගලික ජීවිතේ බොහෝ කාරණා එක්ක ඔහුගේ සාමාන්‍ය බවම තමයි පෙන්නන්නෙ. කෝෂි සම්බන්ධයෙනුත් එහෙමයි. වීරයා-දුෂ්ටයා කියන සාම්ප්‍රදායික චරිත සැකැස්ම නෙමේ මේ තුළ තියෙන්නේ. ප්‍රේක්ෂකයා විදිහට අපිටත් මේ දෙන්නගෙ පැති දෙකම දිහා වෙන වෙනම බලන්න සිද්ධ වෙනවා. සෘජු තෝරාගැනීමක් කරන්න බෑ. අවස්ථාවන් කීපයකදීම කෝෂි කියන්නෙ එපාමකරපු දුෂ්ටයාමයි කියන එක තීරණය වෙනවා වුණත් නිර්මාණකරුවා විසින් කිසිසේත්ම මේ කිසිවක්ම සාම්ප්‍රදායික බවට නතු කරවා නැහැ. ඒ අනුව බලන කල සමස්ත ඉන්දියානු සිනමාව තුළ මලයාලම් සිනමාව කියන්නෙ ගුණාත්මක බවේ සංකේතයක් සහ සුවිශේෂී අනන්‍යතාවයක් කියන එක අතිශයෝක්තියක් නෙමේ ඉතින්. මේ තියෙන්නෙ ප්‍රබලම උදාහරණයක්.
***************************************************
Written & Directed by
Sachy
Produced by
Ranjith
P. M. Sasidharan
Starring
Prithviraj Sukumaran
Biju Menon
Cinematography
Sudeep Elamon
Music by
Jakes Bejoy
Country
India
Language
Malayalam

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *