

ඇය• යන්න• ගියා• මැකිලා•
පරණයි ඒත් ලස්සනයි ලිපිමාලාව ආරම්බ කරලා අදට හරියටම මාසයයි . දැනට විදේශිය ගීත 6 කින් යුත් Article 06 ගෙනාවා සම්පුර්ණ රසවින්දනයක් සමග. දහවෙනි Article එකෙන් මේක ඉවරවෙනවා. මෙච්චර දවස් විදේශිය ගීත ගෙනාව නිසා අද විතරක් වෙනසක් කලා මේ ලිපිය . ඒ වගේම මේවගේ සිංහල ගීතයක්වත් නොදැම්මොත් මේ ලිපිමාලාවෙන් ඇත්තටම වටිනාකමක් නැති වෙලා යනවා. මොකද අපේ ලංකාවෙත් අදහන්නත් බැරි ගීත ගායනාකල – රචනාකල ගායකයන් සිටි නිසා……
ගීතයේ පසුබිම ,
අමරසිරි පීරිස් ශූරීන් තමා මේ ගීතය ගායනා කරන්නේ. මේ ගීතය රචනා කරන්නේ සුනිල් සරත් පෙරේරා මහතා අතින්. මේ සින්දුවේ තනු නිර්මානය කරන්නෙ එච්.ඇම් ජයවර්ධනයන් . මේ ගීතයට ඔහු තනු නිර්මානය කරමින් සිටින අතරතුරේදී එච්.ඇම් ජයවර්ධනයන් ගේ බිරිඳ වුන මාලනී බුලත්සිංහල මහත්මිය ඇමෙරිකාවේදී මිය යනවා. ඔහුට තනු නිර්මාණය කරන්න වෙන්නෙ ඒ විරහවත් සමග. ඔහුගේ ආදරණීය බිරිද මිය ශෝකයත් මේ ගීතයේ තනු අතර ගැබ් වෙලා තියනවා කියලා තමයි සමහරු කියන්නේ .
නමුත් සුනිල් සරත් පෙරේරා මහතා එක් වරක් පැවසුවේ වෙනස් කතාවක්. ඔහු හා ඔහුගේ බිරිඳ සරෝජනීද සමඟ වස්ගමුවේ සංචාරක බංගලාවේ නැවතී සිටියදී රාත්‍රියේ ඇති වූ සිතුවිලි අනුව එය ලියා ඇති බව ඔහු පැවසුවේය. “එය ලිව්වේ මාලිනීගේ වියෝවට බොහෝ කලින්” ඔහු කීය.
පසුව අමරසිරි පීරිස් ශුරින් , සුනිල් සරත්ගෙන් පදමාලාව ලබාගෙන තනුව යෙදීමට එච්. එම්. ජයවර්ධනයන්ට ගෙනැවිත් දෙන්නේ විශාරද මාලිනී බුලත්සිංහල (එච්. එම්.ගේ බිරිඳ) අමෙරිකා සංගීත ප්‍රසංගවලට ගොස් සිටියදීය. එච්. එම්. එක් රාත්‍රියක එම පදමාලාවට ශෝකී තනුවක් යෙදුවේය. කෙසේ හෝ වේවා එම සංගීත සංචාරය නිමා කර විශාරද මාලනී බුලත්සිංහල ආපසු මව්බිමට පැමිණියේ නැත. ඒ වකවානුවේම අමරසිරි ගීය ගැයූ නිසා බොහෝදෙනා සිතන්නට ඇත්තේ එය මාලිනීගේ වියෝව හා සම්බන්ධ ගීතයක් කියාය……
ගීතයේ අර්ථය ,
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ගීතය ආරම්බ කරන්නේ ‘ ඇය යන්න ගියා මැකිලා ‘ කියන පද පේලියෙන්. ගීතය පටන් ගන්න කලින්ම ඉගියක් දෙනවා ඇය යන්න ගිහිල්ලා කියලා . මැකිලා කියන පදයෙන් රසවිදින්නාගේ සිතේ පොඩි කුතුහලයක් ඇති කරන්න සමත් වෙනව මෙතනදි . පෙම්වතිය හැරදමා ගිය පෙම්වතෙක් තුල ඇත්තටම යම් බලාපොරොත්තුවක් තියනවා නැවත ආපසු ඇය ඒවි කියලා. නමුත් මෙතන ” යන්න ගියා මැකිලා ” කියන පද පේලියෙන් ඇගවෙන්නේ ඇය ආපසු නොයෙන්නම යන්න ගිහිල්ලා කියලා.
“වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිද මා තුරුලේ ” . මෙතන ගීතය අපිව අතීතයට අරගෙන යනවා. වන රොදවල්වල තුරු ලතා සෙවනේ මට තුරුල් වෙලා සතුටෙන් ගී කියමින් ඉදපු ආදරවන්තිය අද වන විට හැර දාලා ගිහිල්ලා. මෙතනදී ගීතයෙන් අගවන්න උත්සාහ කරන්නේ ඇයට හැර යන්න කිසි හේතුවක් තිබ්බේ නැති බව. ඉතින් ඔහුගේ පෙම්වතිය හදිස්සියේ යන්න ගොස් ඇත.
පිණි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුන වසා..
ඇය යන්න ගියේ කෙසේද? මෙහිදි පෙම්වතිය සදකට උපමා කර ඇති අතර මලට උපමා කර ඇත්තේ පෙම්වතාය. මීදුම ඇති දවසක මල් පෙති අග පොඩි පිනි බිදු රැදෙයි. නමුත් පිනි බින්දුවක් රැදුනට එය වතුර බින්දුවක් වෙලා වැටිමට නම් පිනි බින්දු රාශියක් එකතු විය යුතුයි . ඒ නොපෙනෙන මීදුම මැදින් සද නොපෙනී යන ආකාරයට ඇයත් ඒ මීදුමෙන්ම මුහුන වසාගෙන ගොස් ඇත. නමුත් ඒ වෙන්වී යන මුහුන දකින්න ඇය පෙම්වතාට කිසිම අවස්තාවක් ලබාදුන්නේ නැත .
හදිස්සියේ ඔහුගෙන් වෙන්ව යන පෙම්වතිය යන්නේ කුමන හැගීමක් සිතේ දරාගෙනද ? ඔහුට ආදරෙන්ද ? නොමැතිනම් වෛරයෙන්ද ? යන බවවත් ඔහු නොදන්නේය.
මින් අදහස් කරන්නේ මල් පෙත්ත යනු පෙම්වතාගේ නෙත්ය . මල් පෙති අග / දෑස් අග පිනි බින්දුව තවරා ඇය මීදුමට මුවා වෙලා යන්න ගොස් ඇත. මල් පෙති අග පිනි බිංදුවෙන් බිංදුව එකතු වි වතුර බින්දු බින්දු කඩා වැටෙන්නාක් මෙන් ඔහුගේ දෑසින් කදුලු ගලා යන බව ගීතය තුලින් හගවයි. මා සමග අසීමිත ආදරයෙන් හිටිය මගේ පෙම්වතිය කවදාවත් නිම නොවෙන අසීමිත් දුකක් ලබාදි , කිසිවක් නොකියා, මට දැනගන්නවත් කලින් හොරෙන්ම යන්න ගොස් ඇත . ඉතින් ඇය යන්න ගියේ ඇයි ?
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එලියේ මංපෙත පාදා
රහසක් සගවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා ..
මෙතනදි සිතිමට ක්‍රම 2 ක් ඇත. පලමුව මතුපිට අර්ථයෙනි. එනම් පෙම්වතිය හැරදා ගොස් ඇත්තේ රාත්‍රි යාමෙක බවයි. එසේ නම් පෙම්වතිය වෙන අයෙක් සමග ගොස් ඇත .
දෙවනුව ඇතුලාන්ත අර්ථයෙන්. අයෙක් දවල් කාලයේ පාරක් සොයමින් ගියොත් ඔහුට පහසුවෙන්ම නිවැරදි මාර්ගය හොයාගන්න පුලුවන්. නමුත් රාත්‍රියේ හද එලියේ පාරක් සොයාගෙන ගියොත් කුමක් සිදුවේද? . අනිවාර්යයෙන් සිදුවන්නේ පාර වැරදිලා අතරමං විමයි. ඉතින් මෙහි අර්ථය කුමක්ද? පෙම්වතා පැවසිමට උත්සහ කරන්නේ පෙම්වතිය ඔය ගිය ගමනත් රාත්‍රියේ පාරක් සොයායන ගමනක් වගේ යනුවෙනි . නමුත් ඇය යන්නේ නිවැරදි මාර්ගයක නොවන බව පෙම්වතා දනි . ඉතින් ඔහු පවසන්නේ ඔහුව දාලා යන්න ගත්තු තීරනය මොන හේතුවක් නිසා ගත්තත් ඒක වැරදි තීරනයක් බවයි.
” රහසක් සගවා.. ගොලුවූ හදකින්.. යන්න ගියා මැකිලා ” . ඇය ඔහුට නොපැවසු දෙයක් ඇත. ඇය තුල රහසක් තබා ගෙන ඇත. ඉතින් ඒ රහස කුමක්ද? එය වෙනත් පුද්ගලයෙක් ගැනද? එසේ නොමැතිනම් එය නොගැලපීමද? ගොලු වූ හදක් යනු ගොලු පුද්ගලයෙක්ට පවසන්න බොහෝ දේ තිබුනත් ඔහුට පවසන්න හැකියාව නොමැත . ඇය කුමක් හෝ රහසක් හිතේ සිරකරගෙන යන්න ගොස් ඇත .
යලි කවදාවත් හමු නොවෙනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇ යලි නොයෙතැයි ගිම්හානෙට පෙර ..
ඔහුට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. ඇය ආපසු තමන් ගාවට පැමිණෙන බව. නමුත් ඒ සමගම ඔහු දන්නවා ඒය කිසිදා ඉටු නොවන බලාපොරොත්තුවක් බව. සුලං හිස මත්තෙන් හමාගෙන පැමිනෙන විට ඔහුට සිතෙන්නේ සුලග පවා මගෙ හිස අතගා පවසන්නේ තවත් බලාපොරොත්තු නොතියාගන්න යනුවෙනි . නමුත් ඔහුට අදහන්න බෑ ඇය ආපසු නොයෙන හේතුව. පෙම්වතිය නැවත පැමිනේනේ නැති බව කොච්චර ඔහු දැන සිටියත් ඔහු එය විශ්වාස නොකරයි.
” අදහා ගන්නට නොහැකිය කිසි දින ඈ යලි නොයෙතැයි ගිම්හානෙට පෙර ” තවත් ඔහුට බලාපොරොත්තුවක් ඇත. තවත් කාලයක් වයසට ගිහින් හෝ ඇය ඇත්ත තේරුම් ගන්නා බව. ඔහුගේ ජීවිතයේ සැදෑ සමයේ එසේ ඇය ඔහුව සොයා ආවත් ඔහු බාරගන්න, නැවත ආදරේ කරන්න සූදානම් බව මෙයින් අදහස් කරයි. ඉතින් ඇය දාල ගියත් ඇයට කවදාවත් වෛර කරන්න බැරි මට්ටමේ ආදරයක් ඔහු තුල ඇත. ඉතින් ආදරයෙන් සිටි ඔහු හා ඇය අද අවසන්ය. ඔහුට රහසක් සගවා හදිස්සියේම ඇය ඔහුගෙන් වෙන්වි ගොස් ඇත . කවදාවත් ආපහු මුන නොගැසෙන බව ඔහු දන්නේය. නමුත් ඔහුට අදහාගන්නට නොහැක. ඇය කවදා හෝ මැරෙන්ට පලමුව නැවත් ඔහු ගාවට පැමිනේවි කියලා . කවදා ආවත් තමන්ගේ ආදරය නොඅඩුව තියන බව මෙහිදි ඔහු හගවයි. ඔහු තවමත් බලාසිටියි…….
මේ ගීතයේ වෙනත් අර්ථයක්ද තිබෙනවා. ඒ තමයි ” ස්වාභාවික සෞන්දර්ය “ අර්ථ ගන්නනවා කියන කරුන.
මේකේ Video එක හදනකොටත් මම අර්ථය පැති දෙකින් නිරුපණය කලා…..
1) ඇය මැකිලා යන ආකාරය
2) ඇය ජිවිතයෙන් මැකිලා මියගොස් සිටින ආකාරය
කොහොම වුනත් ඕනම කාලෙක රසවිදින්න පුලුවන් හරි ලස්සන ගීතයක් මේකත්…….


