Autograph (2004) Tamil by Anuja Wickramasingha
Past is past Senthil
සෙන්තිල් ට තිබුනේ ජීවිත කාලය පුරාවට අමතක කරන්න බැරි තරම් සුන්දර අතීතයක්.දුක සතුට හැම දේම සමබරව බාර ගන්න තරම් බෝසත් නොවුනත් අතීතය ගැන මැදහත් සිතකින් බලලා සැනසෙන්න තරම් සුන්දර ආදරණීය අතීතයක් ඔහුට තිබුනා.ඒ මතක ගොන්න තැනින් තැන විසිරුණු අතීතයක්.හිත් දෙක තුනක් ලඟ නතර වුනු හිතක්.නොලැබීම හෝ අහිමිවීම බාදකයක් විදිහට නොදැනුනු හිතක්.
කමලාව සෙන්තිල් දකින්නේ පාසැලේදී.පාසල් ප්‍රේමය බොහෝ තැන් වල කෙටියි ඒත් ජීවිත කාලයක් පුරාවට හදවතේ කොනක තැන්පත් කරලා තියන්න පුළුවන් තරම් සුන්දරයි.බොහෝම ඉහළට ඇදුනු බලාපොරොත්තු වලින් තොර හැඟීම් වලට උපරිම නිදහස දීලා හිතුමතේ පියඹලා යන්න ඉඩ දෙන්න පුළුවන් කාලයක් ඒ.එහෙම කාලයක් පහු කරපු උදවිය අපි.ඉතින් ඒ වගේ මතකයන් නැතිනම් ඒ අතීතය ගැන පුදුමයි.කමලා සහ සෙන්තිල් ගේ ආදර කතාව බොලඳයි.සිහිවටනයක් විදිහට කමලගේ කොන්ඩ කරලක් කපා ගන්න සෙන්තිල් වෑයම් කරන්නේ ඒ නිසා වෙන්න ඇති…..
ඒත් ඒ බොළද කතාව වර්ථමානයට එද්දී කමලා සහ සෙන්තිල් තමන් විසින්ම තෝරගත් වෙනස් මාවත් දෙකක ගමන් කරන්නේ.තමන්ගෙ බොලඳ සහකරු දිහාව ආපහු හැරිලා බලලා සුසුමක් හෙලනවා හැරෙන්න දෙයක් කරන්න කමලා ප්‍රමාද වැඩියි.ඒ නිසා සෙන්තිල් ලබා දෙන විවාහ ආරාදනය සිනහමුසුව ඇය පිළිගන්නවා.
අතීතය ඇතුලෙම පැල වෙන්න සෙන්තිලට වඩා මම ඇළුම් කරන්නේ කේරළයේදී දකින ලතිකා නිසා වෙන්න ඇති.සෙන්තිල් බොම්බේ චිත්‍රපටය බලලා තිබුනද කියන්න දන්නේ නැහැ.ඒත් මම බැලුව නිසා සෙන්තිල් ලතිකාගේ කතාව දකින මට බොම්බේ සිහියට එනවා.වැස්ස,කොළ පාට පිරී ඉතිරෙන පරිසරයත් එක්ක සුන්දර ආදර කතාවක් බලන්න ඉඩක් ලැබෙනවා නං මට ඒ තරම් දෙයක් නැහැ.
භාශාව හෝ වෙන කිසියම්ම දෙයක් හැඟීම් වලට බලපෑම් කරන්නේ නැහැ.ඒත් සමහර විට විට රිද්දන්න පුළුවන්.ඒ විදිහට රිදුනු තැන් වල රිදුම් මකා ගන්න විදිහ සෙන්තිල් නොදැන සිටි අලුත් යමක්.ඒ නිසාම වෙන්න ඇති ලතිකාව අහිමි වුනු දුක තුනී කරගන්න ඔහු මත් පැනට ලොල් වෙන්නේ.දුම් අස්සේ හිර වෙන්නේ….
කමලා ඔහුගේ ජීවිතයේ සුන්දර මතකයක්,විරහවක් විදිහට ගෑවුණු හැඟීමක් නැති තරම්.ඒත් ලතිකා ඔහුගේ ජීවිත කතාවේ සුන්දර තරම්ම වේදනාත්මක මතකයක්.සමහර ජීවිත වල ඒ විදිහේ වේදනාබර මතකයන් ඉතිරි වෙලා තියෙනවා ගැලවෙන්න මොන තරම් උත්සාහ කරත් ගැලවීමක් නැති….
හැමදාම සතුට එක්කම දුකක් කැන්දන් එන මතකයක් එක්ක ජීවත් වෙන සෙන්තිල්ට දිව්‍යා ව මුණ ගැහෙනවා.ඒ දුක්බර අතීතය වෙනුවෙන් තැවෙන ඔහුට දිය යුතු සරළම පිළිතුර ඇය ලබා දෙනවා…
Past is past senthil !!!!
සෙන්තිල් ට මුණ ගැහෙන්නේ ආදරයකටත් වඩා ලඟ මිතු දමක් දිව්‍යා නමින්.ඒ බැඳීම විස්තර කරන්න වචන නැහැ මට.ඒ බැඳීමට පිළිවන් වෙනවා සෙන්තිල් වෙනමම මානයකට යොමු කරන්න.ජීවිතය ගැන ආදරය ගැන අලුතින් හිතන්න.හැඟීම් වලට වගේම යතාර්ථයට හදවතේ දොරටු විවර කරන්න….
සෙන්තිල් පරණ ආදරණීය මතකයන් හැම දෙයක්ම එකම තැනකට එකතු කරනවා…
Majili තෙලිඟු සිනමාපටයේ තැනක කියනවා
“අපි පෙම් හසුන්පත් වල ලියන නම විවාහ ආරාදනාවේ නම් දෙකෙන් එකක් විදිහට ලියැවෙන්නෙ නැහැ”
කියලා.
කටුක උනත් යථාර්ථය වටහා ගන්න සෙන්තිල් සමත් වෙන නිසා කමලා,ලතිකා වගේම දිව්‍යාත් ඔහුගේ විවාහ ඇරයුම් ලබනවා….
—-–———————————————————————
චිත්‍රපටයයක් මතකයේ රැඳෙන්න විවිද හේතු තියෙනවා.ඒ වගේ මතකයේ හැමදාටම රැඳුණු ආදරණීයම චිත්‍රපට වලින් එකක් autograph කියන්නේ.සෙන්තිල් හරහා මම දකිනවා ආදරණීය මනුශ්‍යයෙක් ව.හැම මොහොතක් ඇතුලෙම මදහසක් මුහුණේ හිර වුනු පුද්ගලයෙක් ව.96 හෝ vinnaithandi varuvaya හරහා දකින විඳවීමට එහා ගිය විඳීමක් මම සෙන්තිල් ගෙන් දකිනවා.ජීවිතයට ඇප්ලයි කරගන්න තරම් වටින ගතිගුණ සහ අදහස් මම ඔහුගෙන් දකිනවා.සිනමාවට විතරක්ම සීමා නොවී ඇත්තට ඒ විදිහේ ජීවිතයක් දකින්න මම ආශා කරනවා.
කාලෙකට කලින් අමල් පෙරේරාගේ හඬින් ගැයෙන “හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී” ගීතය එක්ක බලන්න ලැබුණු සිහින වසන්තයක් ටෙලිනාට්‍ය ට පාදක වෙන්නේත් Autograph දමිළ සිනමාපටය මයි.
Autograph ගැන කාලෙකට කලින් මම ලිවුවා.ආයෙත් මතක් වුනා.සිහින වසන්තයක් බලන්න ගත්තු නිසා…..
ආයෙමත් දවසක අලුතින් ලියන්න තරම් හැඟීම් එකතු කරන්න පුළුවන් චිත්‍රපටයක් ඒ…
ඒ නිසා මේ අවසානය නොවේවී……!
චිත්‍රපටයට පුදුම තරම් ලස්සන ගීත කිහිපයක් එකතු වෙනවා.චිත්‍රපටය බලලා නැතත් කොහේදි හරි ඇහිලා කනට හුරු වුනු සද්ද මේ ගීත හරහා ඔබට ඇහේවී.