Atrangi Re (2021) Hindi |Sinhala Article

Atrangi Re (2021) Hindi by Ashini Randini

? Spoiler Alert ?

මේ පෘතුවි තලය බොහොම පුංචී නිසාම වෙන්න ඇති අපි දකින්න වඩාත් ප්‍රිය පුද්ගලයොයි අප්‍රිය පුද්ගලයොයි කියන කොට්ටාස දෙකම අපිට අඩුම තරමින් දහදොලොස් වතාවක්වත් මුලිච්චි වෙන්නෙ. සමහර මොහොතවල් තියෙනවා අපි වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයො අපෙන් ඈත් උනාට පස්සෙත් අපිට උවමනා ඒ මිනිස්සුන්ගෙ මුහුනුවත් මතකයේ ඇඳගෙන තියාගන්න . මොකද ඒ මතක අපිට අන් කවරෙකුටත් වඩා බොහොම වටින නිසා. එහෙම සංවේදී හිතක් තියෙන අපූරු දඟ බෝනික්කියක් තමයි අපේ කතා නායිකාව රිංකු.❤

රිංකු තුලින් මගේ ඇස් ඉස්සරහ හයක් හතරක් තෝරන සන්ධියේ මං ආසාවෙන් අහපු සුරංගනා කතා වල ජීවත් උනු සින්ඩරෙල්ලා , රපුන්සල් , මෙරීඩා , පුංචි දිය කිඳුරිය වගේ අපූරු චරිත ගණනාවක්ම මැවුනා . ඒ හැම සුරංගනා චරිතයක් ගාවම යම් යම් අවස්ථා වලදි මතු උනු එඩිතරකම නිර්භීතකම මම රිංකු තුලිනුත් දැක්කා. ❤

තමන්ගෙ ප්‍රාණසම මවුපිය දෙපළ තමන්ගෙ ඇස් ගෙඩි දෙක ඉස්සරහ අමු අමුවේ පිලිස්සිලා මැරෙන හැටි බලාගෙන වන මෘගයන්ටත් වඩා කුරිරු මිනිස්සුන්ගෙ අත් අස්සෙ උස් මහත් වෙන දැරියක් අමුතු ගතිපැවතුම් පිලිඹිබු කරන එක මට නම් මහ අරුමයක් නෙවෙයි.❤

රිංකුගෙ කරදරෙන් බේරෙන්න වංශක්කාරකමෙන් හිස උදුම්මගෙන ඉන්න ආච්චි අම්මගෙ උප්පරවැට්ටිය අනෙක් පැත්ත හැරවෙන්නෙ රිංකුගෙ අත ගන්න ලෑස්ති කරපු මනමාලය මාරු වෙලා කාලවර්ණ කඩවසම් හාදයෙක්ව විවාහ මණ්ඩපයට ගෙනාවාම.

තමන්ගෙ කසාදෙට දින තීන්දු වෙලා තියෙද්දි කවදාවත් දැකපු නැති , ෆැන්ටසියක ජීවත් උනු පිස්සු ලමිස්සියක්ව කරකාර බැඳගන්න උනු විශූ බාබු ගාව ඕනෙම ගැහැනු හිතක් ඇද බැඳ තියාගන්න පුලුවන් ලස්සන හිතක් එක්ක ආදරණීය ගතිගුණ ගොන්නක් තිබුනා.

? අපි බලෙන් බැන්දෙ. ඒත් මෙයා මගෙ බිරිඳ.ඔයා ඔයාගෙ දුවට සලකනව වගේ අනික් ගෑනු ලමයින්ටත් සලකන්න .

? විශූ බාබු. මගෙ තාත්තා, සජාද්ට පස්සෙ මම ආසම විදියෙ හිතක් තියෙන්නෙ ඔයාට.

? ඔයා කොහෙන්ද ආවෙ රිංකූ . ඔයාට මම දැන් ආදරය කරන්න පටන් අරන්.

එතනදි රිංකුගෙ හිතත් විශූ ගාව නතර වෙන්න ගියත් කිසියම් සිද්ධියක් නිසා රිංකුට ඒක කරන්න පුලුවන්කමක් නෑ .

මම ලියමන පටන් ගන්නකොටම කිව්ව සමහර සුන්දර මතක මතකයෙන් උදුරල ඉවත් කරන්න ලෝභකමට තවත් පරිස්සමට ඒ මතක බීජ හිත් අස්සෙම පැල කරගෙන ඒ මියැදුනු මතක එක්ක ජීවත් වෙන්නමයි හුඟක් වෙලාවට හිත් ලොබ බඳින්නෙ කියල . මම එතනින් එහාට වැඩි දෙයක් කියල කතාවෙ කුතුහලයට බාධා කරන්න කැමති නෑ . එය නැරඹීම විඳීම රිදවාගැනීම ඔබට බාරයි ❤

මතක එක්ක ජීවත් වෙන්න ඒ මතක අස්සෙම හුස්ම අරන් ඒ මතක යටම දැවිල මියැදෙන්න වෙර දරන රිංකුගෙ ලෝකෙට ආයෙමත් වසන්තය විශූගෙ අත් දෙකින්ම අරන් එනකොට විශාරද පණ්ඩිත් අමරදේව මහත්මයාගෙ ලයාන්විත ගීතයක පද පේළියක් මට මතක් උනා. ❤

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාරය සලුපටින් මුදා
නෙත් මිණි පහණින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත සාදා….. ?❤?

සමහර මතක තියෙනවා අපිව දවා අලු කරන්න උනත් සමත් වෙන. ඒත් සමහර මතක තියෙනවා කොතරම් වේදනාකාරි උනත් අපි ආයෙ ආයෙ මතක් කරන්න උත්සාහ දරන. ඒත් කරන්න පුලුවන් හොඳම දේ මේක …

ඒ තමයි ඒ මතක එක්ක ජීවත් වෙන ගමන් ඒව ඇබින්දක් පැත්තකින් තියල ඉස්සරහට අඩියක් තියල බලන එක. සමහරවිට එහෙම බැලුවම තමන් වෙනුවෙන් පේලියට රැස් උනු ලස්සන හීන කන්දරාවක් තියේවි. ඒවා පරිස්සමට සීරුවට එකින් එක අහුලගෙන තුරුලු කරගන්න .❤

අශිනි රන්දිනි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *