Asuran (2019) Tamil | Sinhala Article

Asuran (2019) Tamil

91% liked this film Google users

#හෑල්ල ?

සෑම මනුෂ්යයෙක්ම මෙලොව එළිය දකින විට ස්වභාවයෙන්ම ආශාවල් ත්රිත්වයක් කර පින්නාගෙන පැමිණෙනවා. එකක් ධනය රැස් කිරීමේ ආශාව. අනෙක බලය ඒකරාශි කර ගැනීමේ ආශාව. අනෙක ලිංගිකාශාව. මේ කාරණා තුන ඕනෑම මනුෂ්යයෙකුට පොදු යි. නමුත් මේ ආශාවන් ත්රිත්වය අතිශය පුද්ගලානුබද්ධ යි. එනම් එකෙකුගෙන් එකෙකු මේ ආශාවන්වලට නිරාවරණය වෙන්නේ එකිනෙකට වෙනස් අන්දමට. ඒ පිළිබඳව උදාහරණ අවැසි නම් ඔබේ පවුල දෙස බලන්න.ඥාතීන් දෙස බලන්න. ඔබට වෙනස පැහැදිලි කර ගත හැකි වේවි.

පෙර කී ඒ අතිශය ස්වභාවික මනුස්ස ගුණාංග කෙනෙකුට කිසියම් සීමාවන් ඉක්මවා පවතින විට එතැන නිරායාසයෙන්ම උපදිනවා කිසියම් අස්ථාවර බවක්. අසංතුලිත බවක්. ප්රචණ්ඩත්වයට නැඹුරුතාවයක්. සම්මතයන් අතික්රමණය කරන්නට සැරැසෙන බවක්. නිකමට සිතන්න, කෙනෙකුට අසීමිතව මුදල්-හදල් පවතින විට බොහෝ අවස්ථාවන්වල දී ඒ පුද්ගලයාගේ ජීවිතය කිසියම් ප්රමාණයකට අස්ථා යි. බොහෝ අවස්ථාවල ධනවත් පවුල්වල මේ අස්ථායි ස්වභාවය දැක බලා ගන්නට පුළුවන්. පිටට එලෙසින් නොපෙනුනත් විශ්වාස කරන්න ඇතුළතින් පුපුරා යන්නට ඔන්න මෙන්න අවස්ථාවේ තමයි පවතින්නේ. කෙනෙකුට මුදල් හදල් නැත්තටම නැති තරම් නම්, එතැනත් පෙර කී අස්ථායි භාවයම නිර්මාණය වෙනවා. එලෙස කිසියම් බලපෑමකට නිරාවරණය නොවී සිටිට හැක්කේ වන වැදී තපස් දම් පුරන අයෙකුට පමණි. නමුත් ධනය කියන සාධයකය ගැටලුවක් කර නොගෙන ඉදිනෙදා ජීවිතය සාමාන්යයෙන් ගත කරන මිනිස්සුත් මේ සමාජයේම ඉන්නවා. ඔය ඛාණ්ඩ තුනෙන් එකකට අපිත් අයිති වෙනවා.

කෙනෙකුට බලය රැස් කිරීමට එනම් බලකාමී වීමට සීමාව ඉක්මවා ආශාව පවතී නම් එතැනදිත් මා පෙර කී ලක්ෂණම පවතිනවා. උදාහරණ අවශ්ය නම් අපේ රටේ දේශපාලකයා කියන පුද්ගලයාව ප්රාදේශීය මට්ටමේ සිට ඉහළට යන තෙක් සසඳා බලන්න. ඔබට මෙහෙම කියනවා ඇහිලා ඇති.

“කුඩු ගේන්නෙ අරූ, ඒත් කවදාවත් ඌ අස්සට යන්නෙ නැහැ, කුඩු බිබී නාස්ති වෙන උන් නාස්ති වෙන ගමන්ම හිරෙත් ලගිනවා..”

බලය ඇති තැන ස්වභාවයෙන්ම ධනය ඇත. එවිට නීතිය හතර අතේ නැමිය හැක. උදාහරණවලට #ලංකාවම_සෑහේ. කිසියම් බලයක් නොමැති පුද්ගලයාගේ තත්ත්වය වටහා ගැනීමටත් ඔබට නිදසුන් අවශ්ය වන්නේ නැතැයි මා සිතමි. අප අවට සමාජයම ඔබට උදාහරණ සපයනු ඇත.

තව ද කෙනෙකු ලිංගිකත්වයට අතිශය ලොල් නම්, ඒ කෙනාටත් පෙර කී අස්ථායිභාවයම උරුම යි. විවාහක කෙනෙකු අනියම් සබඳතාවයක් පැවැත් වූ බවට වෙන ආරංචිය තවමත් අපට මැජික් එකක් ලෙස දැනෙන්නේ ඒ නිසයි. සම්මතයන්ට අනුගත ව ජීවත් වෙන අයෙකුගේ ජීවිතය අස්ථායි නොවන්නේ ඒ නිස යි. සම්මතය සහ අසම්මතය යනු කුමක්දැයි දැන ගන්නට අවැසි අයෙකුට තමන්ගේ දෙමාපියන් දෙසට හැරී බලා කියා ගත හැක ?.

දැන් ඔබට කාරණා පැහැදිලි ඇතැයි සිතමි. අපි ඕනෑ තරම් අසා තිබෙන #ඇති_නැති පරතරය, #ධනපති_නිර්ධන බෙදීම, #ඉහළ_පැළැංතිය_පහළ_පැළැංතිය යන බෙදීම, #රදලයා_සහ_ප්රවේණී_දාසයා යන බෙදීම ආදිය #ධනය යන සාධකය මත පමණක් නිර්මාණය වී තිබෙන බව ඔබට තේරුම් ගත හැකි වේවි. ධනයත් සමඟ හෙවනැල්ලක් සේ පැමිණෙන බලය යන සාධකයත් මූලික කොටැගෙන උපදින අස්ථායිභාවයන් කර පින්නා ගත් මේ විසල් සමාජ පද්ධතිය නිර්මාණය වී ඇත.

බලය ඇති තැනැත්තා නිරතුරුවම බල හීන තැනැත්තන් වෙත සිය ආධිපත්ය නිරන්තරයෙන් ම පතුර වන්නට උත්සහ කර යි. එය විවිධ වූ මාර්ග ඔස්සේ ක්රියාත්මක වෙයි. ලංකාවෙ අපට නම් හොඳම නිදසුන දේශපාලකයා යි.

 

– කුණු කඳු පිපිරී මිනිසුන් මරණයට පත් වීම.

– අසාර්ථක ව්යාපෘති නිසාවෙන් මිනිසුන්ට නිවාස සහ ජලය අහිමි වීම.

– අධම දෙශපාලන වුවමණාවන් නිසා ජනවර්ග අතර ප්රශ්ණ නිර්මාණය වීම සහ යුද්ධය ඇති වීම.

– අතුරුදහන් වූ සිය දූ පුතුන් සොයා ඇවිදින මව්වරුන් බිහි වීම.

– අරගල තුළින් ජීවිත අහිමි වන සිදු වීම් නිර්මාණය වීම.

 

ආදී ලෙස අවැසි නම් තවත් ඕනෑ තරම් දේ මට ලිවිය හැකි යි. ඒ ලංකාවේ ධනපති බලකාමී දේශපාලකයා නිසා නිර්ධන පාංතිකයන් මුහුණ දුන් අසාධාරණයන් ය.

පීඩිතයා පීඩාවට පත්වන විට කිසියම් සීමාවක් පවති. ඒ සීමාව ඉක්මවා ගිය තැන අනිවාර්යයෙන්ම පුපුරා යෑමක් බලාපොරොත්තු විය යුතුම ය. අප ඉතිහාසයට හදාරන විවිධ රාජ්යයන්වල ඇති වූ විප්ලව, අරගල ආදිය විසිර පැවති පීඩිතයන් වෙත එල්ල කරන ලද පීඩනය තව දුරටත් දරා ගත නොහැකිව පුපුරා ගිය අවස්ථාවන් ය. ඒ මහා පරිමාණයෙන් පැතිර ගිය ධනපති බලකාමී පර පීඩකයන්ට එරෙහිව බිහි වූ අරගලයන් ය. මේ නොදියුණු කුඩා ග්රාමයක ඇති වූ එ’ආකාරයේම පුපුරා යෑමක් ය. මෙය නම් #Asuran(2019) ය.

#Film_එක ?

කුඩා ගම්මානයක ජීවත් වන මුදල්-හදල් ආදිය තිබෙන, බලය ද ඒකරාශී වූ ප්රභූ පැලැන්තියේ පවුලක් හා කුල හීන පවුලක් අතර ඇති වන ආරවුලක් ය. ආරවුලට මුල ඉහළ පැලැන්තියේ යැයි මා පෙර සඳහන් කළ පවුල ඉඩමකට ජලය අසාධාරණ ලෙස ලබා ගැනීමේ සිදු වීමක් හා එයට එරෙහි වූ අයෙකුට සිදු කරනු ලබන පහර දීමක් අරභයා ය. එතැනින් ඇරැඹෙන #Asuran (2019) හී කතාව ප්රේක්ෂකයාගේ දෙනෙත් ඉදිරියේ එක හැල්මේ දිව යන්නේ වීරත්වය,අසරණභාවය, අහිමි වීම් සහ අහිමි කිරීම්, පළි ගැනීම් ආදී අනේක විධ සිදු වීම් තුළින් පැන නැඟෙන ත්රාසය, කුතුහලය හරි හරියට දනවමිනි.

කුඩා සිදුවීමක් තුළින් අවසානයේ දී මහත් වූ ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදු වීම මේ නිර්මාණයේ දී ඉස්මතු කර පෙන්වයි. කොතැනත් අසාධාරණයට පත් වෙන පීඩිතයාට අවසානයේ දී යුක්තිය තමන් වෙත ලඟා කර ගැනීමට සිදු වන්නේ තමන්ටම බව පවසන Asuran (2019) එලෙස අසරණභාවයට පත් වූවන්ට දෑතේ හයි හත්තිය පිළිබඳව විශ්වාසය තබන්නට සිදු වෙන බව පවස යි. ධනපති පංතිය වෙත ඒකරාශී වෙන බලකාමීන් විසින් පීඩිත පාන්තිකයා වෙත යොදනු ලබන ප්රතිරෝධයන් හමුවේ තමන්ගේත් තම ලබැඳියන්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීමට #අසුරයෙකුගේ_වෙස්_ගන්නට_සිදු_වෙන_අසුරයෙකුගේ_කතාව_යි #Asuran (2019).

Vetri Maaran + Dhanush සුසංයෝගයෙන් බිහි වන සිව් වන චිත්රපටය මෙය යි. යතාර්ථවාදී සහ ගුණාත්මක බවෙන් ඉහළ නිර්මාණ කවදත් ප්රේක්ෂකයාට ලබා දුන් අති දක්ෂ දමිළ අධ්යක්ෂකවරයෙකු වන Vetri Maaran මෙහිදී ද එය එලෙසන්ම සිදු කොට තිබේ.

නව කතාවක් පාදක කොටැ ගෙන නිර්මාණය කරන ලද Asuran (2019) සිනමා නිර්මාණය මේ වසරේ නිකුත් වූ අනර්ඝතම දමිළ සිනමා නිර්මාණ අතුරින් එකක් බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ යැයි සිතමි.

Cinematography, BGM, Dialogues අගයනු විනා අඩු පාඩුවක් පැවැසීම අසීරු ය. කතාවෙ දෙවන භාගයේ ඇතැම් තැන් කිසියම් ආකාරයකින් කතාව දික් ගස්සන බවක් දැනුන ද එයින් සමස්ථ කතාවටම හානියක් වූයේ නැත. සාමාන්යයෙන් දමිළ චිත්රපටයක් පැය 2යි මිනිත්තු 30 ඉක්මවා ගියත් මෙහි දී එය එසේ නොවන්නට අධ්යක්ෂකවරයා වග බලා ගෙන තිබීම සබුද්ධික ය. අධ්යක්ෂණය ප්රශස්ථ ය. පැසැසුම් සහගත ය. Vetri Maaran මේ තාක් දුරට නිර්මාණය කළ කිසිදු නිර්මාණයක් #අනා_ගත්තේ_නැත.

ධනුෂ්ගේ රංගනය අතිශය පැසැසුම් සහගත ය. ඔහු නිර්මාණයෙන් නිර්මාණයට එකිනෙකට වෙනස් වූත් චරිතයට අනන්ය වූත් රංගනයන් ඉදිරිපත් කරනු දැකීම ආශ්වාදජනක ය. National Award එකක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි ය. මලයාලම් නිළි Manju Warrier ගේ රංගනය ?. ඈ රංගන කාර්යයේ දී මහත් සේ පෘථුල ය. අගනේ ය. Pasupathi සහ Prakash Raj වැනි දැවැන්තයන් ගේ රංගනයන් ඇගැයීමට වචන නැත. කවදත් මා ප්රිය කරන ඔවුන් දෙදෙනා මෙලෙස එකම නිර්මාණයකට සිය දායකත්වය සැපැයීම පෞද්ගලිකව මට මෙරක් තරම් ය. නවක නළු නිළියන් රැසක් සහ තවත් ප්රවීණයන් රැසකගේ ප්රශස්ථ රංගනයෙන් හැඩැ වුණ Asuran (2019) අති සාර්ථක සිනමා නිර්මාණයක් ය යන්න නැවත අවධාරණය කරන්නට කැමැත්තෙමි.

GV. Prakash Kumarගේ සංගීත දායකත්වය ද මෙහි දී කැපී පෙනෙ යි.

මේ ඔබ මේ වසරේ නිකුත් වූ සිනමා පට අතුරින් මඟ නොහැර අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු අනර්ඝ දමිළ සිනමා පටයකි.

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *