Ashawari (2022) Sinhala by Rohan Senevirathne
කාලේකට පසු ලස්සන සිනමා පටයක සිනමා ආස්වාදයක් විඳ ගැනීමට ඊයේ සවස( 03-03-2022 ) වැල්ලවත්ත රොක්සි සිනමාශාලාවේදී මට හැකි වුනා. තේජා ඉද්දමල්ගොඩ ආකර්ෂනීය සිනමා සම්ප්‍රාප්තිය “ආශාවරී”එම සුන්දර සිනමා පටයයි. මේ සිනමා පටය මා නරඹන විට මට දැනුනේ මා ආයේමත් මා දුටු ඒ සුන්දර සිංහල සිනමාව යලිත් රිදී තිරයෙන් විඳ ගන්නවා වැනි හැඟීමක්. ඇත්තෙන්ම 1980 සිට අප දුටු ඒ සුන්දර සිනමා යුගය මා නැවතත් මෙදින රොක්සි සිනමාශාලාවේදී අත් විඳි බව කිව යුතුමයි.
සිනමාව කවදත් සුන්දරයි
ඒ සුන්දර සිනමාව වර්තමානයේදී ඉදිරියට ගෙන යන්නට ප්‍රේක්ෂකයින් අතරට යන්නට “ආශාවරී” වැනි සිනමා පටයක් මහත් උත්තේජනයක් වනවා නොඅනුමානයි.
සිනමාශාලාවකට ප්‍රේක්ෂකයෙක් මුදල් ගෙවා ප්‍රවේෂ පත්‍රයක් රැගෙන සිනමා පටයක් නැරඹීමට යන්නේ යම් කිසි සිනමා රසාස්වාදයක් ලබා ගැනීමට වීනා චිත්‍රපටයෙන් පෙන්වන දහසකුත් එකක් උභතෝකෝටික ප්‍රශ්නයන් ඔලුවේ දමාගෙන ඔලුවට මහත් බරක් ගෙන සිනමා ශාලාවෙන් පිට වෙන්නට නොවන බව ප්‍රේක්ෂකයෙක් ලෙස මාගේ මතයයි. බොලඳ වුවත්, සරල වුවත්,ඔලුවට සහනයක් ලැබේනම්. නෙතට රසඳුනක් දක්නට ලැබේනම් අද වැනි කර්කෂක යුගයකට එය මහත් සේ වටින්නේය.
ජිවිතය විඳ ගත යුතුය,ජිවිතය විඳ ගන්නට අනුන්ගේ ලස්සන දෙයකින් හෝ තම සිත ප්‍රබෝධමත් කර ගැනීම පවා වටින්නේය. එය මා පැහැදිලිවම මෙම සිනමා පටයෙන් අත් විඳි බව සටහන් කරන්නට කැමැත්තෙමි.
“ආශාවරී”මා වර්තමානයේ දකින සුන්දරතම ආකර්ෂනීය සිනමා පටයකි. මා හට මෙහි කිසිවක් ඉහල තැනක රඳවා මාගේ සටහන ලියන්නට අවශ්‍ය නොවන්නේය. එහෙත් ඇත්ත ඇති සැටියෙන් හුවා දැක්විය යුතුමය.
සිනමාවට තිරකතා රචනයෙන් හා සිනමා අධ්‍යක්ෂනයෙන් විපුල මෙහෙවරක් ඉටුකල සිනමාවේ පුරෝගාමී සිනමාකරුවෙකු වූ සිරිල්.පී අබේරත්න මහතාගේ නාමයට තවත් අභිමානයක් එක් කරන්නට එතුමාගේ මුනුපුරා වූ මෙහි නිර්මාණකරු තේජා ඉද්දමල්ගොඩ සමත් වී ඇති බව නොසඟවා සටහන් කල යුතුමය.
“ආශාවරී”නිර්මාණයෙන් ඔහු එය සපත කර ඇත. ඉතාම සුන්දර කතාවක් ලියු සද්ධා මංගල සුරිය බණ්ඩාරගේ කතා සංකල්පයට තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂනයෙන් මහත් සාධාරනයක් ඉටු කොට ඇති බව පෙනෙන්නට තිබේ. මෙහී කැමරාව මෙහෙයවන රුවන් කොස්තාගේ කැමරාකරනයද සිනමා පටයට ලබා දෙන්නේ මහත් ආලෝකයකි. ඉතාම සුන්දර දර්ශන තලයන් තුල මෙම සිනමා පටය රුගත වී ඇත
පසුබිම් සංගීතය මෙන්ම මෙහී එන ගීත හතරද ඉතාම කන්කලුය. හදවතට දැනෙන සංගීත රසයක් එම ගීතයන් තුල ඇත්තේය. ඒ වාගේම ගීත ගායන ශිල්පීන්ගේ තිර කට හඬ සිනමා පටයට මහත් සේ ගැලපෙන්නේය. එදා ස්වර්ණමය යුගය ගැන පුරසාරම් කියනවාට වඩා සිනමාව තව දුරටත් ඉදිරියට ගෙන යන්නට තිරයට සුදුසු හඬවල් ඇති අයවලුන්ගේ හැකියාව අප අගය කල යුතුමය.
සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනේත්, නිරෝෂා විරාජිනී, උපේඛා නිර්මාණී, එම ගිත හතරට උපරිම සාධාරනයක් ඉටු කොට ඇත. මෙම ගීතයන්හී තනු නිර්මාණයන් තැනූ සංගීත ශිල්පී තේජා ඉද්දමල්ගොඩයන් හටද මෙහි ප්‍රශංසාව හිමි විය යුතුය.
වර්තමාන සිංහල සිනමාවේ සිනමා වීරයා හේමාල් රණසිංහයින්ගේ ආකර්ෂනීය රංගනය “ආශාවරි” ට එක් කරන්නේ මහත් ආලෝකයකි. හේමාල් සිංහල සිනමාවට සම්පතකි.ඔහුගේ කඩවසම් පෙනුම මෙහී හමුදා නිලධාරීයාගේ චරිතයට මනා සේ ගැලපෙන්නේය . ඔහුගේ ආදරණීය රංගනයක් මෙම සිනමා පටය පුරාම දක්නට තිබෙන්නේය. නවක රංගන ශිල්පිනියක වුවත් ඉෂංකා ජාන්වී ද කොස්තා තම චරිතයට උපරිම සාධාරනයක් කර ඇත.ඇය සිනමාවට ආයෝජනයකි. ටෙලි නාටක තුල දිය නොවන රංගන ශිල්පිනියක වී සිනමාව ජය ගන්නට ඇයට හැකියාව ලැබෙන්නේනම් ඉතා වටින්නේය. ඇයට සිනමාව තුල පැහැදිලි ගමනක් යා හැකි බව විශ්වාසය.
හේමාල් -ඉෂංකා යුගයක් සිනමාව තුල ඇරඹේවායි රසික අප ආශිංශනය කරමු. වෙනස්ම රංගනයක් තුල ප්‍රවීන රංගන ශිල්පී බිමල් ජයකොඩිගේ රංගනයද ප්‍රශස්තය . හාස්‍යය රසය දැනෙන චරිත රංගනයකට උපරිම සාධාරනයක් බිමල් ජයකොඩි ඉටු කොට ඇත. එසේම සාරංග දිසාසේකර තම චරිත රංගනය ඉතා විශිෂ්ට ලෙස රඟ දක්වා ඇති බව පෙනෙන්නට තිබේ. ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ රංගනය අප නෙතට කඳුලක් එක් කරනුයේ එතුමාගේ අවසන් සිනමා රංගනය එය වීමත් සේම එතුමා අප අතර තවමත් සිටිනවා වැනි හැඟීමක් එතුමා සිනමා පටය පුරා කරන චරිත රංගනයෙන් අපට ඒත්තු ගැන්වෙන නිසාය. එතුමාගේ රංගනයද විශිෂ්ටය. ප්‍රවීන රංගන වේදීණියන් වන ජයනී සේනානායක,සේමිණී ඉද්දමල්ගොඩ තම චරිත රංගනයන් අතිවිශිෂ්ට ලෙස සිනමා පටයේ ඉදිරිපත් කර ඇත. නවක රංගන ශිල්පීන් වන රුවී ලක්මාලී,දිනිති වල්ගමගේ,රොහාන් රණතුංග,ධනුෂ්ක ඩයස් සිය රංගනයන්ට උපරිම සාධාරනයක් කර ඇත.ප්‍රවීන රංගන ශිල්පින් වන ප්‍රියංකර රත්නායක සහ දයා වයමන්ගේ රංගනයන් ද අගය කල යුතුමය.
සියල්ලන්ගේම සාමුහීක ප්‍රයත්නයන් තුල තේජා ඉද්දමල්ගොඩ අතීශය සුන්දර ආකර්ෂනීය සිනමා පටයක් අපට තිලිණ කර ඇත. මෙය අද සිනමාවට සුන්දර නැවුම් අත්දැකීමක් විඳ ගත හැකී ආකර්ෂනීය සිනමා සිතුවමකි. මෙවන් වකවානුවක සිනමාව වෙනුවෙන් කරන මෙවන් ආයෝජකයින් නිෂ්පාදකවරුන් සැබැ ශ්‍රි ලාංකික සිනමා රසිකයින් ලෙස අප රැක ගත යුතු වෙමු. ඔවුන්ගේ මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට සිනමා රසිකයින් ලෙස අප සිනමාශාලාවකදී මෙම සුන්දර ආකර්ෂනීය”ආශාවරී”සිනමා පටය නැරඹිය යුතුමය.
එය ඔවුන් හෙට දිනත් මේ කර්මාන්තය තුල රඳවා ගන්නට අප විසින් කරන්නාවූ මහඟු කර්තව්‍යකි.
“ආශාවරී”සිනමා පටයට ජයෙන් ජය වේවා