Article 15 (2019) Hindi
ඉන්දියාවේ “Article 15” හරහා ලංකාවේ “Article 12” කියවීම
2019 වසරේ බොලිවුඩයේ නිර්මාණය වී IMDb දර්ශකය 8.2ක් තරම් වූ ඉහළ අගයකට කරකැවීමට සමත් වූ අපූරු, විශිෂ්ට නිර්මාණයක් ලෙස අනුභව් සිංහාගේ “Article 15” සිනමාපටය හඳුන්වාදිය හැකිය. දාලිත් කුලයට අයත් යොවුන් ගැහැනු දරුවන් තිදෙනෙකුගේ අතුරුදන්වීම සහ ඉන් දෙදෙනෙකු ඝාතනය වීම පිළිබඳව ඇරඹෙන පොලිස් විමර්ශනයක් හරහා දිගහැරෙන ඉන්දීය සමාජ සංස්කෘතිය තුළ වසර දහස් ගණනක් මුළුල්ලේ මුල් බැසගෙන ඔඩු දුවා ඇති අති සංකීර්ණ සහ සංවේදී සමාජීය ගැටලුවක් එහි නෛතික පදනම සමග සාකච්ඡාවට බඳුන්කිරීම Article 15 සිනමාපටය තුළ දී සිදුවේ. අන් කවර කාරණාවටත් වඩා මෙම චිත්‍රපටය සිනමා දර්ශක තුළ ඉහළ අගයක් වාර්තා කිරීමට බලපාන්නට ඇත්තේ එමගින් ආමන්ත්‍රණය කෙරෙන සමාජීය ගැටලුවේ සංවේදී බව සහ කලාත්මක ප්‍රකාශනය තුළ එය අත්කරගෙන ඇති සාර්ථකත්වය යැයි මට හැඟේ. නමුත් මා මේ තුළින් සාකච්ඡාවට බඳුන්කිරීමට සැරසෙන්නේ Article 15හි අන්තර්ගතය පිළිබඳව නොව ඒ හරහා ලාංකීය සමාජය තුළට ගෙන ආ හැකි කියවීමකි.
Article 15 සිනමාපටය නරඹා ඇති බොහෝ සිනමා රසිකයින් ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවේ සිනමා රසික ප්‍රජාව අතර ඇතුවා නිසැක ය. එසේ නම් නීතිය සහ ක්ෂේත්‍රය පිළිබඳව දැනුමැති පුද්ගලයන් හැරුණු විටමේ වන විටත් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Article 15 (15වන ව්‍යවස්ථාව) හා එහි අන්තර්ගතය පිළිබඳව අවබෝධයක් එම සිනමා රසිකයන් හට ඇතුවා ද නිසැක ය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව තුළින් “සමානාත්මතාවය” පිළිබඳව සංකල්පය නෛතික වශයෙන් බලගැන්වීම සිදුකර ඇත. එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වන්නේ ආචාර්‍ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතාගේ ප්‍රබල මැදිහත්වීම හරහා ය. එහිදී ඒ තුළ Article 15 සිනමාපටය හරහා ආමන්ත්‍රණය කරන්නේ සමාජය තුළ “කුලය” පිළිබඳව වන ගැටලුව යි.
Article 15 in The Constitution Of India 1949
15. Prohibition of discrimination on grounds of religion, race, caste, sex or place of birth
(1) The State shall not discriminate against any citizen on grounds only of religion, race, caste, sex, place of birth or any of them
(2) No citizen shall, on grounds only of religion, race, caste, sex, place of birth or any of them, be subject to any disability, liability, restriction or condition with regard to
(a) access to shops, public restaurants, hotels and palaces of public entertainment; or
(b) the use of wells, tanks, bathing ghats, roads and places of public resort maintained wholly or partly out of State funds or dedicated to the use of the general public
සමානාත්මතාවය පිළිබඳව අයිතිය කිසිදු භේදයකින් තොරව සෑම මිනිසෙකුටම හිමිවිය යුත්තකි. එසේ නම් ක්ෂේත්‍රය පිළිබඳව හදාරන, එහි ප්‍රාමාණිකයන් සහ ඒ පිළිබඳව උනන්දුවක් ඇත්තන් හැරුණු විට මේ සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදනයක් ලංකාවේ පුරවැසියන් වන අපට හිමිවී තිබේදැයි යන කරුණ ඔබ අතරින් කී දෙනෙකු දන්නවා ද? එසේ හිමිවී ඇත්නම් ඉන්දියාවේ 15වන ව්‍යවස්ථාවේ මෙන් නීතිය තුළ එය සඳහන්වන්නේ කොතැනක දැයි යන්න ඔබ දන්නවා ද? Article 15 සිනමාපටයේ දී සාකච්ඡාවට බඳුන් කරන එක්තරා පැතිකඩක් ලාංකීය සමාජයට හොඳින්ම අදාළවන්නේ එතැනදී ය.
බොහෝ සිනමා රසිකයන් පවසන පරිදි ඔවුන්ගේ හදවත් සසල වූ රූපරාමු බවට පත්වී ඇත්තේ කුල භේදය හමුවේ ඉන්දීය ජනයා විඳි පීඩාවන් ඇතුළත් රූපරාමු ය. එහි කිසිදු වරදක් නැත. ඒවාට හද ගැහෙන, මනුෂ්‍යත්වය අගයන මිනිසුන් ලෙස අපි අනිවාර්යයෙන්ම සංවේදී විය යුතු වෙමු. නමුත් මෙම සිනමාපටය තුළ මා වඩාත් සසල කළ රූපරාමුව වන්නේ පොලිස් කොමසාරිස්වරයා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15වන ව්‍යවස්ථාව මුද්‍රණය කෙරුණු කඩදාසියක් පොලිස් ස්ථානයේ දැන්වීම් පුවරුවේ අලවන විට පොලිස් නිළධාරීන් ඇතුළු අවට සිටි බොහෝදෙනෙකු ඒ දෙස මින් පෙර නොදුටු විරූ යමක් පළමු වතාවට දකින අයුරින් බලා සිටින ආකාරය යි. එය එලෙස බලා සිටිය යුත්තක් ද? තමන් පාලනය වන, තම පරමාධිපත්‍යය තුළින් සුජාතභාවයට පත්කොට බලගැන් වූ, තමා ජීවත්වන රාජ්‍යයේ මූලික නීතිය පිළිබඳව මිනිසුන් එලෙස අමුතු දෙයක් දුටුවාක් මෙන් බලාසිටිනවා නම් එයින් අපට හැඟී යන්නේ කුමක් ද? අප අවබෝධකරගත යුත්තේ කුමක් ද? එම උත්තරීතර මූලික නීතිය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සේවයට එක් වූ නිළධාරීහු ද ඒ අතර වූහ. එය කොතරම් නම් විසල් ඛේදවාචකයක් ද?
ඒ රූපරාමුව දකිද්දී මගේ හදවත සසල වී ගියේ ලංකාවේ තත්වය ද මෙයට නොදෙවෙනි බව සිහිපත්වීමෙන් අනතුරුව ය.
අප අතරින් කීයෙන් කී දෙනෙකු එදිනෙදා කටයුතුවල දී භාවිතාවන, තමන් කෙරෙහි බලපෑම් සහගත වන නීතිය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයෙන් පසුවන්නේ ද? රටේ මූලික නීතිය, තම මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන්නේ ද? ඒ පිළිබඳව දැන් එළැඹෙන්නේ ඔබේම හෘද සාක්ෂිය තුළින් විමසා බැලීමේ අවස්ථාව යි.
වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය මහජනතාවට හිමිවන බව සඳහන්කර ඇත. 4වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ එය ක්‍රියාවට නංවන ආකාරය යි. 4වන ව්‍යවස්ථාවේ (ඈ) සහ (ඊ) අනුව මහජනතාව ස්වකීය පරමාධිපත්‍යය භුක්තිවිඳින ආකාර දෙකකි. ඉන් එකක් වන්නේ ඔබ බොහෝදෙනෙකු ඉතා හොඳින් දන්නවා යැයි සිතනා “සර්වජන ඡන්ද බලය” යි. ඊටත් ප්‍රථමයෙන් 4(ඈ) ව්‍යවස්ථාවේ සඳහන් වන මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම තුළින් ද මහජනතාව තම පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන බව ඔබ අතරින් කීයෙන් කීදෙනෙකු දන්නවා දැයි මම නොදනිමි. සර්වජන ඡන්ද බලයටත් ප්‍රථමයෙන් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරන්නේ එහි ඇති අතිශය වැදගත්කම නිසා ය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වන්නේ එහි තුන්වන පරිච්ඡේදයේ ය. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15වන ව්‍යවස්ථාව මෙන් සමානාත්මතාවය සහ සර්ව සාධාරණත්වය පිළිබඳව අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් එයට නෛතික පසුබිම සකස්කරන්නේ එහි 12වන ව්‍යවස්ථාව හරහා ය. (එය මෙහි සඳහන්කිරීමෙන් සටහන දීර්ඝ වන බැවින් එහි ඡායාරූපයක් මේ සමග පළකර ඇත.)
12 වන ව්‍යවස්ථාව
12(1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුත්තේ ය.
12(2) කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව ද, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුත්තේ ය……
සමානාත්මතාවය සහ සර්ව සාධාරණත්වය පිළිබඳව වන මානව අයිතියට අන්තර්ජාතික නීතිය තුළ බලාත්මකභාවයක් සහ පිළිගැනීමක් ලබාදෙන්නේ 1948 එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights – UDHR) 2වන ව්‍යවස්ථාව හරහා ය.
Article 2
Everyone is entitled to all the rights and freedoms set forth in this Declaration, without distinction of any kind, such as race, colour, sex, language, religion, political or other opinion, national or social origin, property, birth or other status. Furthermore, no distinction shall be made on the basis of the political, jurisdictional or international status of the country or territory to which a person belongs, whether it be independent, trust, non-self-governing or under any other limitation of sovereignty.
UDHR පිළිබඳව කරුණ කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය පිළිබඳව ඔබ අතරින් කී දෙනෙකු දැනුවත් දැයි මම නොදනිමි. නමුත් ඒ සමස්ත පුරවැසි ප්‍රජාවෙන් ප්‍රමාණාත්මක මට්ටමින් සෑහීමකට පත්විය නොහැකි තරම් ඉතාමත් අතළොස්සක් පමණක් වන බව නම් හොඳින්ම දනිමි. කොතරම් ඉහළ මට්ටමේ උසස් අධ්‍යාපනයක් පවා ලැබුව ද බොහෝදෙනෙකු මේ පිළිබඳව ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා නැත. එය ඉතාමත් කණගාටුදායක කරුණකි. යම් හෙයකින් එම දැනුවත්භාවය අනවශ්‍ය යමක් යැයි ඔබ සිතන්නේ නම් එය ඊටත් වඩා කණගාටුදායක කරුණකි. එහි සඳහන්වන්නේ මේ රාජ්‍යයේ පුරවැසියන් වන ඔබට හිමිවන මූලික අයිතිවාසිකම් පිළිබඳව ය. ඒවා ගැන යම් මට්ටමකට හෝ අවබෝධයක් ඔබට තිබිය යුතු නොවේ ද? ඉතින් යම් හෙයකින් ඔබට ඒ පිළිබඳව මූලික දැනුවත්භාවයක් හෝ නොමැති නම් පුරවැසියෙකු ලෙස ඔබ ඔබේ වැදගත්ම යුතුකමක් පැහැර හැර ඇති බවක් ඔබට නොහැඟේ ද?
අප බොහෝදෙනෙකු සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජලා තුළ කතාකරන්නේ මෙවන් පසුබිමක ය. සිස්ටම් එක චේන්ජ් කිරීමට නම් එහි මූලික පියවර කොතැනින් තැබිය යුතු ද යන්න පිළිබඳව අප අතරින් බොහෝදෙනෙකුට අවබෝධයක් නැත. මේ සිස්ටම් එක චේන්ජ් කිරීමට යන්නේ තමන් පාලනය වන මූලික නීතිය, එදිනෙදා ජීවිතයේ නීතිය තුළින් අප මත ඇතිකරන බලපෑම, තම මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති අති විශාල ප්‍රජාවක් ඇතුළත් ජන සමාජයකි. ඉතින් ඒ සිස්ටම් චේන්ජ් යන්න කොතරම් දුරට සාර්ථක වන්නක් ද? අපි සෑම දෙයටම පාලන තන්ත්‍රයටත්, දේශපාලඥයින් හටත් දොස් පවරමින් සිටිමු. සිස්ටම් චේන්ජ් එකක් ඇතිකිරීමට වෙර දරමු. නමුත් එය බොහෝදුරට සමාජ මාධ්‍යවලට පමණක් සීමා වූ ප්‍රායෝගිකත්වය තුළ අඩපණ වූ දෙයක් නොවන්නේ ද?
අපගේ නිසි නොදැනුවත්භාවය වරදක් නොවන්නේ ද? දැනුවත්වීමට අවස්ථා තිබියදීත් ඒ පිළිබඳව දැනුවත් නොවීම අපගේ වරදක් නොවන්නේ ද? එසේ නම් මේ සිදුවී ඇති බොහෝ දේ සඳහා අපි ද අඩුවැඩි වශයෙන් කොටස්කරුවෝ නොවන්නෙමු ද? මන්ද අප අපගේ දැනුවත්වීමේ යුතුකම පැහැර හැර ඇති බැවිනි. ඔවුන් අපව රවටාලන්නේත්, තම සියලු ක්‍රියා සඳහා දඩමීමා කරගන්නේත් අපගේ අවබෝධයේ ඇති මේ හිස්තැන් සහ අපගේ නොදැනුවත්භාවය නොවේ ද? එසේ නම් සැබෑ වැරදිකරුවන් කවුරුන් ද?
වැඩි ප්‍රජාවක් අවබෝධයකින් තොර වන සමාජයක් තුළ අවබෝධයෙන් යුතු සුළුතර ප්‍රජාවකගේ හඬ සහ ක්‍රියාකාරීත්වය නිහඬ කිරීම ඉතා පහසු කරුණකි. එයට බොහෝ විට වක්‍රාකාරයෙන් දායක කරගන්නේ ද ඒ ප්‍රමාණවත් අවබෝධයෙන් තොරවන බහුතර ප්‍රජාව යි. එය ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තබා කැපීමකි. දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ එය නොවේ ද? අපගේ නොදැනුවත්භාවයට එහි හවුල්කරුවෙකු වීමට ඉඩ දිය හැකි ද?
ඔවුන් අපව දැනුවත් නොකරන්නේ නම්, දැනුවත්වීමට අප මීට වඩා උනන්දු විය යුතු නොවේ ද? අපේ රටේ සාක්ෂරතාවය පිළිබඳව අපි බොහෝ උදම් අනමින් කතාකරමු. නමුත් එය සැබෑ සන්නද්ධ සාක්ෂරතාවයක් ද? අපි නිදහස් අධ්‍යාපනය භුක්තිවිඳිමු. නමුත් දශක ගණනාවක් මුළුල්ලේ එහි සැබෑ ඵල නෙළාගැනීමට අපට හැකි වී තිබේ ද? අප බොහෝදෙනෙකුට මෙවැනි කාරණා පිළිබඳව තාක්ෂණය හරහා එක් ඇඟිලි තුඩක ස්පර්ශයෙන් බොහෝ දැනුවත්විය හැකි යුගයක අපි සිටිමු. නමුත් අපි ඒ සඳහා ඵලදායී ලෙස එය යොදාගන්නේ හෝ දැනුවත්වීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් හෝ දක්වන්නෙමු ද? අපි බොහෝදෙනෙකුට බොහෝ අවස්ථාවල පිහිටට එන google දෙවියාගේ පිහිට මේ අවස්ථාවේ දී ද කිසිදු පැකිළීමකින් තොරව අපට ලබාගත හැකි ය. එයට අවශ්‍ය බොහෝ ප්‍රතිපාදන මේ වන විට ඒ තුළ අන්තර්ගතව ඇත. Article 15 සිනමාපටය හරහා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15වන ව්‍යවස්ථාව පිළිබඳව දැනුවත් වූ ඔබ අතරින් කී දෙනෙකු ලංකාවේ මේ සම්බන්ධයෙන් වන නීතිය සහ තත්වය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගැනීමට උත්සහ කළාදැයි මම නොදනිමි. එසේ නොකළා නම් එනයින්ම ඔබ ඔබේ දැනුවත්වීමේ වගකීම කොතරම් පැහැර හැරියා ද යන්න පිළිබඳව ඔබටම කිසියම් අවබෝධයක් ලබාගත හැකි ය.
තමන් කෙරෙහි තමා ජීවත් වන ජාතික රාජ්‍යය තුළ බලපැවැත්වෙන නීතිය පිළිබඳව ඕනෑම තරතිරමක, ඕනෑම ජන් සමාජයකට අයත්, ඕනෑම වෘත්තියක යෙදෙන පුද්ගලයෙකු හට ප්‍රමාණාත්මක දැනුවත්භාවයක් තිබීම අත්‍යවශ්‍ය ය. එය පරතෙරට ගිය දැනුමක් නොවූව ද, කිසියම් ප්‍රමාණාත්මක මට්ටමේ දැනුවත්භාවයක් විය යුතු ය. අධ්‍යාපනය සහ ක්‍රමානුකූල අන්දමින් නීතිය විෂයක් ලෙස පාසැල් විෂය නිර්දේශයට ඇතුළත්කිරීම වැදගත් වන්නේ මෙහිදී ය. දැනුම බොහෝ කාරණා සම්බන්ධයෙන් සන්නද්ධ විය හැකි හොඳම ආයුධයකි. නීතිය විෂයක් වශයෙන් පාසැල් විෂය නිර්දේශයට ඇතුළත්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වුවත් තවමත් ඒවා ක්‍රියාත්මක වන තත්වයක් පෙනෙන්නට නොමැත. නමුත් එය හුදු කටපාඩමින් වමාරන සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ ලකුණු ලබාගැනීමට වනපොත් කරන හුදු විෂයක් බවට පමණක් පත් නොවී එදිනෙදා ජීවිතය තුළ භාවිතයට උපකාරී වන ජීවන කුසලතාවයක් දක්වා වර්ධනය විය යුත්තක් බව තරයේ මතක තබාගත යුතු ය. නැත්නම් එයින් ද අපේක්ෂිත ඵල නෙළාගැනීම ප්‍රායෝගිකත්වය තුළ එතරම් පහසු කරුණක් නොවනු ඇත. ලාංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ මෙවැනි තත්වයන්ට අමුතුවෙන් උදාහරණ සැපයීමට අවැසි නැතැයි මම සිතමි.
Article 15 සිනමාපටය තුළ සාකච්ඡාවට බඳුන්කෙරෙන “කුලය” පිළිබඳව සමාජීය ගැටලුව ගැන සාකච්ඡා කිරීමේදී ඉන්දියාවේ තරම් සංකීර්ණ තත්වයක් ලංකාවේ දැකගැනීමට නොහැකි බව අයෙකු පැවසීමට හැකි ය. එය සැබෑ ය. නමුත් ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ඔඩු දුවා ඇති මෙයින් සම්පූර්ණයෙන්ම නිදහස්වීමට තවමත් අපට හැකි වී නොමැති බව නොරහසකි. මෑත කාලයක් වන තුරුම ඇතැම් කුලවල මිනිසුන්ට ඇතැම් හින්දු පූජ්‍යස්ථානවලට ඇතුළුවීමේ හැකියාව නොපැවතුණු අතර සුනීත, සෝපාක වැනි තැනැත්තන් පවා රාහුල කුමරු සමගින් එකම ශාසනයේ පැවිදිව මාර්ග ඵල අවබෝධකරගත් බුදු සසුනේ ඇතැම් නිකායවල කුල දරුවන් පැවිදි කිරිමේදී කුලය පිළිබඳව විමසීමට ලක්වන බව නොරහසකි.
වැඩි යමක් අවශ්‍ය නැත. මින් වසර කීපයකට ඉහත දී යාපනය දිස්ත්‍රික්කයේ රෝහල්වල රුධිරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මීට කදිම නිදසුනකි. 21වන සියවසේදීත් කුලය පදනම්කරගනිමින් තමා සමග එකට ජීවත්වන මිනිසුන්ගේ රුධිරය පවා ප්‍රතික්ෂේප කරන මිනිසුන් වෙසෙන සමාජයක තවමත් අපි ජීවත්වෙමු. කණගාටුදායක යථාර්ථය වන්නේ එය යි.
නමුත් මෙයට අපූරුම නිදසුනක් වන්නේ සෑම ප්‍රධාන පුවත්පතකම අතිරේකයක් පුරාවට පළවන “බොදු ගොවි”, “බොදු කරා”, “බොදු සලාගම”….ආදී හිසින් යුතු මංගල දැන්වීම් ය. අධ්‍යාපනය බොහෝ ගැටලු සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට සමත්වන්නේ යැයි අප පැවසුව ද, අධ්‍යාපනය එහි සැබෑ අර්ථයෙන් දැනුම, ආකල්ප සහ කුසලතා සමබර ලෙස සංවර්ධනය නොවීමේ අනිටු විපාක මේ තුළ පැහැදිලිවම දැකගත හැකි ය. බොහෝ විට මේ මංගල දැන්වීම්වල සහකරුවන් සහ සහකාරියන් සොයන්නේ බොදු ගොවි, සලාගම, කරා… ඉංජිනේරු, ගණකාධිකාර, ගුරුවර…..ආදී ඉහළ අධ්‍යාපන මට්ටමකට හිමිකම් කියන පුතුට ය. දියණියට ය. එය මෙම කුලය යන්න මුලිනුපුටා දැමීමට නොහැකි තරම් කොතරම් සමාජය තුළ මුල් බැසගෙන පවතින්නක් ද යන්න මැනවින් විදහා දක්වන්නකි. එහිදී අධ්‍යාපනයට සරිලන මට්ටමින් ආකල්ප ද වර්ධනය වී නම් එවන් හිස් ගත් දැන්වීම් පුවත්පත්වල පළනොවනු ඇත. එය සැබෑ ඛේදවාචකයක් නොවන්නේ ද? මෙවන් කරුණු සම්බන්ධයෙන් සමාජය තුළ ආකල්පමය වෙනසක් සිදුකිරීමේ ඇති බලපෑම සම්බන්ධයෙන් ආචාර්‍ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතා සිය “Annihilation of Caste” (කුලය මුලිනුපුටා දැමීම) ග්‍රන්ථයේ දේශපාලනික ප්‍රතිසංස්කරණයකට සමාජ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය වන්නේ මන්ද?, ආර්ථික ප්‍රතිසංස්කරණයකට සමාජ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය වන්නේ මන්ද? යන හිස් ගත් පරිච්ඡේදවල වඩාත් සවිස්තරාත්මක ලෙස සාකච්ඡාවට බඳුන් කර ඇත.
නජච්චා වසලො හොති
නජ්ච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණො
(මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් වන්නේ ය.)
වසල සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ එසේ දේශනා කර ඇත. ඉහත කී සිදුවීම් සිදුවන්නේ එවන් දර්ශනයක්, දහමක් ආරක්ෂා වී ඇතැයි එහි වැසියන් මහත් උජාරුවෙන් පාරම්බානා ඊනියා ධර්මද්වීපයේ ය.
මිනිසා මිනිසෙකු ලෙස උපත ලැබීම නිසාවෙන්ම මිනිස් අයිතිවාසිකම්වලට හිමිකම් කීමේ සහ ඒවා භුක්තිවිඳීමේ හැකියාව මිනිසාට ලැබෙන බව සිතා සිටිය ද නොදැනුවත්භාවයට මිනිසාගේ අයිතිවාසිකම් කෙරෙහි කොපමණ බලපෑමක් එල්ල කිරීමට හැකියාව පවතී ද යන කරුණ Article 15 සිනමාපටය හරහා මනාව පැහැදිලි වේ.
කාලීන සංකීර්ණ, සංවේදී සමාජීය ප්‍රපංචයක් පිළිබඳව ගැඹුරු කතිකාවතකට මංපෙත් විවර කරන Article 15 බොලිවුඩ් සිනමාපටය විශිෂ්ට සිනමාපටයකි. දැනටමත් ඔබ නරඹා නොමැති නම් එය නරඹා රසවින්දනය කිරීමට මම ඔබට ඇරයුම් කරමි. නමුත් එම රසවින්දනය හුදු සිනමා රසවින්දනයකට සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ඒ හරහා අප ජීවත්වන සමාජය පිළිබඳව ද, අප දැනුවත් විය යුතු බොහෝ කරුණු පිළිබඳව ද අර්ථාන්විත, යථාර්ථවාදී කියවීමක් දක්වා අපව කැඳවාගෙන යාමට පෙළඹවීමක් ඇතිකරන රසවින්දනයක් විය යුතු යැයි මම සිතමි.
“හැම මිනිහම එක සමාන වුණොත් කවුද රජ වෙන්නෙ?
ඇයි ඉතින් අපට රජෙක් ඕනම වෙන්නෙ?”
සැබැවින්ම අපට අවශ්‍ය වන්නේ “රජෙක්” ද? ” “නායකයෙක්” ද?
කාලය වැය කොට නිවිහැනහිල්ලේ කල්පනා කර බැලීමට වටිනා පැනයකි.
දැනුම, ආකල්ප සහ කුසලතා සමබර ලෙස වර්ධනය වූ අධ්‍යාපනයක් සහ දැනුවත්භාවයක් යනු මිනිසෙකුට සන්නද්ධ වීමට ඇති හොඳම ආයුධයකි.
එමෙන්ම එහි විලෝමය ද එසේම ය.
මිනිසාගේ නොදැනුවත්භාවය යනු ඔහු විනාශකිරීමට හෝ විනාශවීමට බලපාන ප්‍රබලම ආයුධයක් ද වනු නිසැක ය.
එසේ නම්,
දැනුවත් වන්න.
ඔබේ නොදැනුවත්භාවයට ඔබේ විනාශය ළඟාකරවන ආයුධයක් බවට පත්වීමට ඉඩ නොතබන්න.
– හංසිනී කවින්දි –
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) ?
https://www.parliament.lk/si/constitution/main
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15වන ව්‍යවස්ථාව පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ?
මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය
(Universal Declaration of Human Rights – UDHR)
?
https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights
*******************************************
Directed by – Anubhav Sinha
Produced by – Anubhav Sinha
Written by – Gaurav Solanki
Anubhav Sinha
Starring –
Ayushmann Khurrana
Nassar
Manoj Pahwa
Kumud Mishra
Isha Talwar
Sayani Gupta
Mohammed Zeeshan Ayyub
Music by –
Songs:
Anurag Saikia
Gingger Shankar
Cinematography – Ewan Mulligan
Edited by – Yasha Ramchandani
Production company – Zee Studios
Distributed by – Zee Studios
Release date – 28 June 2019
Running time – 130 minutes
Country – India
Language – Hindi
අපි බැලු චිත්‍රපට වෙනුවෙන් ….