Adiyozhukkukal (1984) Malayalam
IMDb: 7.5/10
Google Users Rating: 95% liked
නගරයේ සිට පිටත්වුනු මගීන් පිරුණු බෝට්ටුව තුළ තම අසුනේ හිඳ ගෙන නොසන්සුන් බවින් යුතුව ගොඩබිම දෙස බලමින් යන අවුල් වුනු හිසකෙසින් සහ රෞද්ර පෙනුමක් එක් කරන උඩු රැවුලකින් යුතු තරුණයා කරුණන් ය. ඔහු රජයේ නවාතැන්පලේ වසර පහක් ලැගුම් ගෙන එයින් නිදහස්ව නැවතත් තම නිවස බලා යමින් සිටියි. කරුණන් ට ඉදිරි අසුනෙහි ජනේලය අද්දර වාඩි වී සිටින්නේ සුන්දර තරුණියකි. නමින් දේව්යානී වන ඇය මේ යමින් සිටින්නේ තම සහෝදරයාගේ නිවස වෙත යි. තමා යා යුතු තොටුපල පිහිටි ඉසව්ව නිවැරැදි ව නොදන්නා දේව්යානී ඒ ගැන තමාට ඉදිරි අසුනේ වාඩිව සිටින තරුණයාගෙන් යමක් විමසයි. අපේක්ෂාභංගත්වය පිරුණු හිස් බැල්මෙන් නදිය දෙස බලා සිටින එම තරුණයා නොසැලකිලිමත් ලෙස ඇයට පිළිතුරක් ලබා දෙයි. ඔහු ගෝපි ය. යම් කිසි කරුණක් සඳහා ඔහු අනිත් ඉවුරට යමින් සිටියි.
එකම බෝට්ටුවෙ මගීන් ලෙස ගමන් කරන කරුණන්, ගෝපි සහ දේව්යානී තිදෙනාගේ ජීවිත කතාව කුමනාකාර වේවි ද?
අධ්යක්ෂණය: I.V. සසී
පිටපත: M.T. වාසුදේවන් නායර්
රංගනය:
මම්මුති (කරුණන්)
සීමා (දේව්යානි)
මෝහන්ලාල් (ගෝපි)
චන්ද්රන් (රහුමාන් )
සම්මාන:
මෙහි රංගනය වෙනුවෙන් 1984 කේරළ රාජ්යය සිනමා සම්මාන උළෙලේදී සහ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී මම්මුති විසින් හොඳම නළුවා සඳහා වන සම්මානය දිනාගත්තේ ය.
……………………………………………………….
අසූව දශකයේ මලයාලම් සිනමාව තුළ බිහිවුනු අති විශිෂ්ඨ වාණිජ සිනමාපට බහුතරයකම නිමැවුම්කරු වන්නේ I.V. සසී නමැති ශ්රේෂ්ඨ චිත්රපටි අධ්යක්ෂකතුමා ය. I.V. සසී සමග ලෝහිතදාස් හෝ වාසුදේවන් නායර් යන දෙදෙනාගෙන් එක් අයකුගේ පිටපතක් සංයෝග වුනු විට නිසැකවම එම චිත්රපටිය අති සාර්ථක සම්භාව්ය මට්ටමේ වාණිජ චිත්රපටියක් වීම එකල අනිවාර්ය කරුණක් ව තිබුනි. සාමාන්යය ජන සමාජය තුළ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව පිටපත් රචකයින් තුළ තිබුනු අවබෝධයත්, නළුවන් තුළින් තාත්වික රංගනයක් මතු කර ගැනීමට අධ්යක්ෂකවරයාට තිබුණු හැකියාවත් නිසාම මේ චිත්රපටි සාර්ථකත්වයට පත් විය.
සාමාන්ය නළුවෙක් ලෙස චිත්රපටි කිහිපයක රඟපා සිටි මම්මුති ව අසූව දශකයේ මුල් භාගයේදි ම එයින් මුදවා ගෙන ප්රධාන නළුවෙක්, එනම් ‘හීරෝ කෙනෙක්’ ලෙස සිනමාභිශේකය සිදු කලේ ද I.V. සසී විසින් ය. ඔහුගේ සෙවණේ වැඩෙමින් තම ශක්යතාවය දියුණු කරගත් නළුවෙකි මෝහන්ලාල්. මෝහන්ලාල්ගේ සිනමාභිශේකය වෙනුවෙන් ද I.V. සසී සෑහෙන කාර්යභාරයක් ඉටු කලේ ය.
අධ්යක්ෂකවරයෙක් ලෙස I.V. සසී සතු විශේෂ හැකියාව වන්නේ පදම් කල මැටි පිඬක් අඹරවමින්, කරකවමින් බඳුනක් සකසන කුඹල්කරුවෙක් මෙන් යම් නළුවෙක් හෝ නිළියක් විවිධාකාරයෙන් නවමින් කරකවමින් ඔහුගේ හෝ ඇයගේ උපරිමය තම චිත්රපටි තුළට ලබා ගැනීමට ඔහු සතුව තිබුණු විශේෂ හැකියාව යි.
තාරාදාස්, ඉන්ස්පෙක්ටර් බල්රාම් වැනි මලයාලම් සිනමාව තුළ සදා නොමැකෙන චරිත නාමාවලියක් දායක කළ I.V. සසී ගේ තවත් අපූර්ව සිනමා පටයකි Adiyozhukkukal.
තාත්වික මලයාලම් සිනමාව සොයන අයටත්, මෝහන්ලාල් සහ මම්මුති දෙදෙනාම එක් චිත්රපටියක දැක ගැනීමට කැමති අයටත් Adiyozhukkukal ඉතා උචිත චිත්රපටියකි.