AB Aani CD (2020) Marathi | Sinhala Article

AB Aani CD (2020) Indeewari Herath

‘අමිතාබ් භච්චන් සහ චන්ද්රකාන්ත් දේශ්පාන්ඩේ’

IMD අගය- 6.4

Google පරිශීලක මනාපය- 94%

භාෂාව-මරාති

චන්ද්රකාන්ත් දේශ්පාන්ඩේ මහත්තයා අවුරුදු හැත්තෑපහක් වයස විශ්රාමික ගුරුවරයෙක්. යාලුවො ඔහුට කතා කරන්නේ චන්දෘ, නැත්තන් CD කියලා. ඔහුගේ බිරිඳ දැනට කලකට පෙර දිව්යය ලෝකයට ගිහිල්ලා. ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා විවාහ වෙලා ජීවත් වෙන්නේත් මහගෙදරමයි. ඉතිං අපේ චන්ද්රකාන්ත් මහත්තයට මුණුබුරෙක් සහ මිනිබිරියකුත් ඉන්නවා. දෙන්නම ලොකු ළමයි. දෙන්නම සීයට බොහොම ලැදියි.

සාමාන්යයෙන් ඕනම වියපත් පුද්ගලයෙකුට මුහුණ දෙන්න වන අකටයුතුකම් සහ විශේෂයෙන්ම තමන්ගේ ලේලිලා දෙන්නගෙන් වන කෙනෙහිලිකම් නිසා චන්ද්රකාන්ත් මහත්තයා බොහෝම සිත්තැවුලෙන් ජීවත් වෙන්නේ.

නමුත් එක දවසක් චන්ද්රකාන්ත් මහත්තයට ලැබෙන අපූරු ලියුමක් නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඔහු ‘ඕවර් නයිට් ඔබාමා’ කෙනෙක් බවට පත් වුනා කිව්වොත් තමයි නිවැරදිම.

ඒ ලියුම තමයි පහළ තියෙන්නේ.

“හිතාදර චන්දෘ මහතාණෙනි,
අමිතාබ් භච්චන් ඔබට ගෞරවය පළ කර සිටියි!!
අලහාබාද් පිරිමි උසස් පාසලේ අප එකට ඉගනගත් කාලයත්, එහි අපට ඉගැන්වූ ගුරුවරයෙක් වන ශර්මා සර් ඔබට මතක ඇති යැයි මම සිතමි. මේ වසරේදී ශර්මා සර් ඔහුගේ සිය වෙනි උපන්දිනය සමරයි. එබැවින් අතීතයේ ඔහුගෙන් ඉගනගත් සිසුන්ගේ හමුවක් සංවිධානය කර ඔහුට අපගේ ගෞරවය පුද කර සිටීමේ වැඩසටහනක් මගේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇත. වැඩසටහන් විස්තරය සහ දින වකවානු ඔබට ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇත. දිනයක් නිශ්චය කර ගැනීමෙන් පසුව නැවතත් ඔබට විස්තර දන්වා ලිපියක් එවීමට අදහස් කරමි. අමතක නොකර ඔබගේ ඊමේල් ලිපිනය මට එවන්න. ඔබත්, මමත් අපේ අනිත් පාසල් මිතුරනුත් නැවත වතාවක් එකට එක්ව, අපගේ පැරණි මතකයන් අලුත් කරගනු දැකීම මගේ එකම බලාපොරොත්තුවයි.
ස්තූතියි.
ඔබේ මිතුරා,
අමිතාබ් භච්චන්. “

ඇත්තටම මේ ලියුම ලිව්වේ අමිතාබ් භච්චන්ද??

මෙයාලගේ ගෙට් ටුගෙදර් එක මොනවගේ වෙයිද??

චන්දෘ සහ අමිතාබ් භච්චන් අවුරුදු ගාණකට පස්සේ මුණගැහෙන අවස්ථාව මොන විදියට තියේවිද??

ඒවා කියන්න නෙවෙයි, බලන්න විඳින්න තියන දේවල්!!

………………………………………………………….

බොහෝම අපූරු කතාවක් තියන චිත්රපටියක් තමයි AB Aani CD කියන්නේ. හරිම ලයාන්විතව ගලාගෙන යන චිත්රපටියක්. මහළු මහත්මයෙක්; ඔහු තමන්ගේ මහළු වයසෙදි සමාජයෙනුත් පවුලෙනුත් ලැබෙන කෙනෙහිලිකම් නිසා පසුතැවීමෙන් ඉන්නේ. රෑට බිරිඳගේ ⁣පොටෝ එකකට ඔහු තමන්ගේ දුක කියනවා. එහෙම ඉන්න ඔහුට එකපාරටම අමිතාබ් භච්චන්ගෙන් ලියුමක් එනවා. මේ ආරංචිය පැතිරිලා යනවත් එක්කම ඔහු පූනේ නගරය තුළ තරුවක් බවට පත්වෙනවා.

කලින් තමන්ගේ මාමණ්ඩි කෑවද බිව්වද කියලා බලපු නැති ලේලිලා දෙන්නා දැන් කෑම හදලා අපේ චන්දු මහත්තයගේ කාමරේටම හොයාගෙන ඇවිල්ලා “තාත්තේ, කෑම කන්න එන්න” කියලා කතා කරනවා. තාත්තව ගණන් ගත්තේ නැති පුතාලා දැන් ඔෆිස් එකේ අයත් එක්ක තාත්තා ගැන කියනවා; “අපේ තාත්තා අමිතාබ් භච්චන්ගේ ළඟම යාළුවෙක්නේ!”

මේ කරදර අස්සේම චන්ද්රකාන්ත් මහත්තයගේ වැඩිහිටි සමිතියේ සාමාජිකයෝ ටික ඔහුගේ හැත්තෑපස් වන උපන්දිනය මහා ඉහළින් සමරන්න ඕන කියලා බල කරනවා.

හාස්යජනකයි, පැහැදිලිවම හාස්යයජනකයි. ඒ සිදුවීම් තුළ තිබෙන හාස්යය ප්රේක්ෂකයාටම දැනෙන්න ඇරලා තියෙන්නේ හීනියට කනේ පාරකුත් ගහන ගමන්මයි. බලහත්කාරයෙන් හාස්යය උපදවන්නේ නැහැ. කවටයෝ, විකටයෝ නැහැ. ඉන්දියාවේ ප්රධාන ධාරාවට එපිටින් තියන සිනමා ශානර වල ප්රධානම ⁣ලක්ෂණයක් විදියට මේ කතාව තුළින්ම, කතාවේ සිදුවීම් ගලාගෙන යෑම තුළින්ම ප්රේක්ෂකයා තුළ හාස්යයක් ඇති කිරීම කියන කාරණය සලකන්න පුලුවන්.

කලින් බෙහෙත් ගන්න ගියාම චන්දු මහත්තයට හරිම නරක විදියට කතා කරපු රෝහලේ කළමණාකාරවරිය දැන් ගෙදරටම ඇවිල්ලා ඒ රෝහල මගින් වැඩිහිටියන් උදෙසා සංවිධානය කරන යම් ඉවෙන්ට් එකක brand ambassadorවිදියට ඉන්න කියලා ඔහුට ආරාධනා කරනවා. පාරේ යද්දි ලෝකල් ටීවී චැනල්ස් වල රිපෝටර්ස්ලා කැමරා මයික් අටවගෙන ඔහු පස්සේ එළවනවා. නිකංම නිකං ලියුමක් නිසා දැන් සම්පූර්ණයෙන්ම චන්දු මහත්තයගේ ජීවිතය උඩු යටිකුරු වෙලා තියෙන්නේ.

ඒ වගේම ගුරුවරයෙක් විදියට අවුරුදු තිහක් තිස්පහක් සේවය කරලා විශ්රාම ගියපු මනුස්සයෙක් විදියට තමන්ට ලැබෙයි කියලා ඔහු බලාපොරොත්තු වුනු, ඒ වගේම සැබවින්ම ඔහුට ලැබිය යුතු ගෞරවය දැන් ඔහුට ලැබෙනවා. නමුත් එහෙම වෙන්නේ ඔහුගේ වැඩිහිටි බව හෝ විශ්රාමික බව හෝ නිසා නෙවෙයි. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ මේ අමිතාබ් භච්චන්ගේ නම නිසා.

මේ චිත්රපටිය ඇවිල්ලා කනට ගහනවා කියලා නොදැනෙන ගාණට, නමුත් අත දිග හැරලා කන පිරෙන්න ගහන චිත්රපටියක්. ⁣වැඩිහිටියෙක් කියන්නේ නිකංම වයස ගෙවපු කෙනෙක් නෙවෙයි. වැඩිහිටියෙක් යනු යුග ගණනාවක සමාජ, සංස්කෘත විපර්යාස ඇසින් දුටු, අත්දැකීම් වලින් පෝෂණය වුනු ඒ අත්දැකීම් නිසාම අනාගතය දැකිය හැකි සියුම් ඥාණයක් ලැබූ අයෙක්. වියපත් මිනිසුන්ටද සිහින, අපේක්ෂාවන්, බලාපොරොත්තු, ආත්ම ගෞරවය සහ ආශාවන් තිබෙනවා. වියපත් වීම යනු ස්වභාව ධර්මයේ සංසිද්ධියක් විනා ක්ලේශයන් සමාප්ත කර අධ්යාත්මික විමුක්තියක් ලැබීම නොවෙයි. සියලු දෙනාටම කවදාක හෝ මහලු විය පිළිගැනීමට සිදු වනවා.

වියපත් මව්පියවරුන් පවුල තුළින් මෙන්ම සමාජය තුළින්ද කොන් කිරීමේ ප්රවනතාවයක් අද වන විට වර්ධනය වෙමින් පවතිනවා. මෙම සිනමාකරුවා තම නිර්මාණයේ වස්තු බීජය ලෙස යොදාගන්නේද එයයි.

ඔවුන්ව නොතකා හැරිය යුතු නැහැ. වයෝවෘධ මිනිසුන් යනු සමාජ⁣යකත්, රටකත්, පවුලේත් ප්රගමනය වෙනුවෙන් තම ශ්රමයත්, කාලයත්, දැනුමත් කැපකළ ශ්රේෂ්ඨයින් පිරිසක්.

මේ චිත්රපටිය තුළින් තවත් කරුණක් මතු කිරීමට යම් ප්රයත්නයක් දරා තිබෙනවා:

මේ ලෝකය කියන්නේ වෙනස් වීම පමණක් සදාකාලිකව පවතින දෙයක්. සියලු දෙයම වෙනස් වනවා. ළදරුවන් තරුණයින් වෙනවා. තරුණයින් මහළුවියට එළඹෙනවා. වියපත්වීම නවත්වන්නට පුලුවන් දෙයක් නෙවෙයි. මෙය ලියන මමත් කියනව ඔබත් ජීවත්ව සිටියහොත් තව කාලයක් ගතවූ පසුව හැට හැවිරිදි මහල්ලන්ව සිටිනු ඇත. තරුණ වියෙහි මතකයන් යනු මහළු වියට ආශිර්වාදයන් වගේ❤❤

එනිසා කවදාහෝ හැට හැවිරිදි මහල්ලෙක්/මැහැලියක්ව සිටිමින් තම විසි හැවිරිදි විය දෙස ආපසු හැරී බැලීමක් කරන විට සිතට සතුටක් දැනෙන ආකා⁣රයේ මිහිරි, යහපත් මතක සැමරුම් වලින් තම තරුණ කාලය පුරවා ගැනීම වැදගත්.

චිත්රපටියේ සංගීතය පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. එය අතිවිශිෂ්ඨයි?

මෙහි එන පළමු ගීතය වෙන්වන්නේ චන්ද්රකාන්ත් තම බිරිඳ පිළිබඳව සිදුකරනු ලබන අතිතාවර්ජනයකටයි. අහා! එය නම් සුමියුරු ගීතයක්මයි. දෑස් වසාගෙන එම ගීතය රසවිඳිමින් ඔබට වෙනම ලෝකයකට පියමැන යන්නට පුලුවන්. භාෂාව ගැටලුවක් නැහැ. වචනයෙන් කිව නොහැකි හැඟීම් සිය දහසක් ප්රකාශ කරන පසුබිම් සංගීතය චිත්රපටියට ආභරණයක්.

තමන්ගේ චරිතයට ආරෝපණයවී සිය රංගනයන් ඉදිරිපත් කරන නළු නිළි සමූහය චිත්රපටියේ ආලෝකය යි. එසේම කීර්තිමත් බොලිවුඩ් නළු අමිතාබ් භච්චන්ද මෙම චිත්රපටිය වෙනුවෙන් තම දායකත්වය ලබාදී තිබෙනවා.

AB Aani CD චිත්රපටිය යනු හාස්යයත්, විනෝදයත්, ආදරයත්, දුක සහ වේදනාවත් කැටිවුන ඔබේ මසැසටත් මනසටත් මනා සංග්රහයක් ලබා දෙන පැය දෙකක් වනු ඇති බව නම් නොඅනුමානයි.

……………………………………………………………………..

“හිතවත් නෝනාවරුනි, මහත්වරුනි
මම අද මෙතනට ආවේ මගේ ළඟම මිත්රයෙක් වන චන්ද්රකාන්ත් දේශ්පාන්ඩේ මහත්මයාගේ හැත්තෑපස් වන උපන්දින සැමරුමට සහභාගී වෙන්න. චන්ද්රකාන්ත් සහ මම එකම ඉස්කෝලේ අවුරුදු තුනක් ඉගන ගත්තා. ඉතින් චන්දෘ, ඔයාට සුභ උපන්දිනයක් වේවා!
චන්දෘ, මම ඔයාට දෙයක් කියන්න ඕන. මොකද මේ ඔයාගේ උපන්දිනය දවස. ඒක නිසා මම අනිවාර්යයෙන්ම කතා කරන්නේ ඔයා ගැන හොඳ දේවල් විතරමයි. අපි හොඳ යාළුවෝ නිසා මං හිතන්නේ එහෙම කතා කරන්න පුලුවන්…..
හිතවත් නෝනාවරුනි, මහත්වරුනි
මෙයාගේ බිරිඳ මියගියාට පස්සේ ඔහු චිත්ර අඳින එක නැවැත්තුවා. එයා ඇත්තටම දක්ෂ චිත්ර ශිල්පියෙක්. ඒත් චිත්ර ඇඳීම නැවැත්තුවා. ඇයි ඒ?
එයාගේ නෝනා නැතිවුන නිසාද? නෑ, ඒ නිසා නෙවෙයි. අපි හිතනවා වයසට ගියාම තරුණ කාලේ තිබුන හැකියාවල් නැති වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් අපේ බැටරිය චාර්ජ් කරගන්න එක අපිම නවත්තලා දානවා. මට කියන්න ඕන වුනේ අපි තරුණ කාලයේ දක්වපු දක්ෂතා වයසට ගියා කියලා නවත්තන්න ඕන නෑ. ඒවා තුළින් තමයි වැඩිහිටි ජීවිතේ සතුට ලැබෙන්නේ……”
Milind Lele
Initial releaseMarch 13, 2020
Music byScore: Rahul Ranade; Songs: Ashish Mujumdar; Mayuresh Pai
Production; companiesPlanet Marathi; Golden Ratio Films; KV Reddy Productions

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *