’83’ (2021) Hindi | Sinhala Article

’83’ (2021) Hindi by Luckshman Aranvala

හිතුවටත් වඩා මෙගා වැඩක්. සිනමා ශාලාවක ලබපු හොඳම සිනමා අත්දැකීමක්. හිතුවටත් වඩා හොඳයි කිව්වෙ මේකයි. බලාපොරොත්තු වුණේ ලෙජන්ඩරි කපිල් දේව් උපහාරයක් පමණක්ම මෙහි ඇති කියලා. නමුත් මේ කපිල් දේව් ගේ කතන්දරයම නම් නෙමේ. 1983 ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වූ සමස්ත ඉන්දීය කණ්ඩායම ගැනයි මේ අද්විතීය සිනමා උපහාරය. නමුත් වඩාත් වැදගත් ස්ථානයක් හිමිවෙනවා පන්කජ් ත්‍රිපාති නම් අපූර්ව බොලිවුඩ් රංගන ශිල්පියා විසින් නිරූපණය කරනු ලැබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවා ගේ භූමිකාවට. PR Man Singh ට. මගෙත් එක්ක එකට චිත්‍රපටය නැරඹූ මගේ මිත්‍රයා උපුල් දිසානායක චිත්‍රපටය නරඹන අතරවාරයේදී ම මට කියනවා “යකෝ මේ මනුස්සයා මාර කැපවීමක්නේ කරන්නේ” කියලා. ඔව්. කපිල් දේව් නම් අසහාය ක්‍රිකට් ක්‍රීඩකයාව සිනමා තිරය මත යළි ජීවමාන වුණාද එතරම්ම ගෞරවණීය උපහාරයක් Man Singh හටත් චිත්‍රපටය තුළින් හිමිවුණා. කිසිම සැකයක් නෑ මගේ ප්‍රියතම චරිතය වන්නේ ඔහුම තමයි.

එකල වාතාවරණය අනුව ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානයක් හා තරඟ වැදීමම විහිළුවක්. කණ්ඩායම එංගලන්තයට පිටත්ව යනකොටම අවසන් තරඟය පැවැත්වෙන දිනටත් කලින්ම ආපහු මව්බිම බලා එන්නටත් ගුවන් ටිකට්පත් වෙන්කර හමාරයි. ඒ කියන්නෙ රටේ ක්‍රිකට් බෝඩ් එකටත් කිසිම විශ්වාසයක් නෑ මේ ක්‍රීඩකයින් එතරම් දුරක් යන්නට තරම් සුදුසුයි කියා. ෆෑන්ස්ලගෙත් මහ ලොකු බලාපොරොත්තුවක් නෑ, කිසිම උණුසුම් වෙල්කම් එකකුත් නෑ. මාධ්‍යයෙන් කිසිම සපෝට් එකකුත් නෑ. විදෙස් මාධ්‍ය වලින් එල්ල කරනා අපහාස උපහාස වල ඉවරයකුත් නෑ. කොටින්ම ඉන්දීය කණ්ඩායම එදා ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කිරීම සම්බන්ධයෙන් කාටවත් වගේ වගක් නෑ. එවන් අන්ත සෘණාත්මක පසුබිමකයි කපිල් දේව් ඇතුළු සමස්ත කණ්ඩායම තමන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. ඒ ඔස්සේම පෙන්වා දෙනවා ක්‍රිකට් ක්‍රීඩකයින් හෝ ක්‍රිකට් ක්‍රීඩාව යනු රටට එතරම් වැඩදායි දෙයක් නොවන බවත්. වෘත්තීමය වශයෙන් පවා එතරම් පිළිගැනීමක් නොලැබූ බවත්. නමුත් අද තත්ත්වය අනුව ඉන්දීය ජාතික සංචිතය හෝ IPL සංචිතයකට ඇතුළත් වෙන්නට වරම් ලැබීම යනු වයස අවුරුදු 19 ක වයසේ පසුවන ආධුනිකයෙක් ට වුවත් කොටිපතියෙක් වන්නට ලැබෙන වරමක්. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් තුළ අද සහ එදා තත්ත්වය ගැන හොඳ සංසන්දනාත්මක විග්‍රහයක් මෙහි ඇතුළත්.

චිත්‍රපටය වින්දනාත්මක පැත්තටයි වැඩිපුරම බර. හැබැයි MS Dhoni වගේ චිත්‍රපටයකින් දකින්නට ලැබුණ නාටකීය ස්වරූපයන් නම් මෙහිදී අවමයි කියන්නට පුළුවන්. මොකද මුලිනුත් සඳහන් කළා වගේ මේක කපිල් දේව් ගේ කතන්දරයම නොවී කණ්ඩායමේම කතන්දරය නිසා. නමුත් වින්දනාත්මක අගය මත නාටකීය කොටස් නොතිබුණාමත් නෙමේ. ඒවා ඒ ඒ අවස්ථානුකූලව නරඹන්නාට හොඳ වින්දනයක් ලබා දීම උදෙසාම එක් කර තිබුණු දේවල් විදිහට සාධාරණීකරණය කර තිබෙනවා. එතකොටත් මෙහෙම හිතුණා. ස්පෝට්ස් ඩ්‍රාමා එකක් ඉදිරිපත් කිරීමේදී මොකක්ද අනුගමනය කළ යුතු වඩාත්ම ගැලපෙන ෆෝමැට් එක. ඒ කියන්නේ ඊට සම්භාව්‍ය අගයක් එක් කරනවාද නැතිනම් බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනා ආකාරයේ මසාලා රසකාරක ඊට මිශ්‍ර කරනවාද කියන එක. මොකද බොලිවුඩයෙන් නිපැයුණු සෑම ක්‍රිකට් චිත්‍රපටයකම මේ කියන මාසාලාව අනිවාර්ය අංගයක් වී තිබුණා. මෙහිදීත් ඒක එහෙමමයි කියන්නත් බෑ. නැහැයි කියන්නත් බෑ. හොඳ සමබර බවක් තිබුණා. උද්වේගකාරීත්වය ඕන, දේශාභිමානය ඕන, ප්‍රේක්ෂකයන්ගේ භක්ත්‍යාදරය ඕන. එතකොට මේ හැමදේම පෙන්නන්න එන්ටටේනින් බවට ලොකු ඉඩක් දෙන්නම ඕන. නැත්නම් ඒ නියම ගතිය ඇඟට දැනෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් සංගීතයෙන් දෙනව උපරිමම පන්ච් එකක්. සිනමාශාලාවක ලොකු ශබ්දයක් එක්ක බලන එකේ උද්දාමය ඒකයි.

සමස්ත ඉන්දියාවම සතුටු කඳුළු හෙලූ, රටම එකට නටා ගයා විනෝද වූ අදටත් සිහිපත් කරනාවිට මහත් අභිමානයක් ජනිත කරවූ ජයග්‍රහණයක කතන්දරයට අවශ්‍ය කරනා නිවැරදිම රිද්මය අධ්‍යක්ෂකවරයා වන කබීර් ඛාන් විසින් හඳුනාගෙන තිබෙනවා. රන්වීර් සිං ගේ රංගන ප්‍රතිභාව කපිල් දේව් චරිතය ට ආදේශ කරගැනීම තුළ වඩාත් නිවැරදිම තෝරාගැනීම ඔහුම බවත් පසක් කෙරෙනවා. ඒ වගෙම අනෙකුත් ලෙජන්ඩරි ඉන්දීය ක්‍රීඩකයින් සියලුම දෙනාගේ නිරූපණයන් නරඹන්නාට වඩාත් සමීප කරවනා හැටි අපූරුයි. බෝහෝ අවස්ථාවන් හමුවෙනවා කපිල් දේව් ට වගේම අනෙක් පිරිසටත් ප්‍රේක්ෂක අවධානය නිරායාසයෙන්ම හිමිකරගන්නා. ඔන්න ඔතනට දාන්න පුළුවන් කපිල් දේව් ගෙ බිරිය Romi Bhatia වෙනුවෙන් දීපිකා පදුකෝන් ගෙ නිරූපණය. දෙන්නගෙ රොමෑන්ස් වගේ කාරණා වලට ලොකු කාලවේලාවක් නම් නෑ. නමුත් දීපිකා-රන්වීර් ගෙන් දුටු ප්‍රේමණීයම කෙමිස්ට්‍රිය මෙහි ඇතුළත් වෙනවා. ඒ වගේම දීපිකා ගේ එන්ට්‍රි එක තුළ මාරම මෝහනීයත්වයක් අඩංගු වෙලා තිබුණා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න වටිනවා. සෙසු ක්‍රීඩකයින් අතරේ සුප්‍රකට කොලිවුඩ් රංගන ශිල්පී Jiiva විසින් නිරූපණය කරනා ශ්‍රීකාන්ත් ගේ භූමිකාවත් හරිම අපූරුයි.

මේ සියලුම කාරණා එක්ක ’83’ කියන්නේ සිනමා ශාලාවකම නරඹන්නට වඩාත් සුදුසු නිර්මාණයක් බව කියන්න ඕන. අල්ලපු රටේ දේශාභිමානය වඩාත් උලුප්පලා පෙන්වන වැඩක් වුණත් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට ලබන්නට හැකි රසාස්වාදය ඉතා ඉහළයි. දෙස් විදෙස් තරඟකරුවන් සහ තරඟ ඉසව් හොඳ ගුණාත්මක මට්ටමකින් සිනමාරූපීව ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ අදහන ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ව අව්‍යාජව ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රීඩා තරඟ ඉසව්වක් යුද සංග්‍රාම භූමියක් බවට පෙරලෙන අයුරුත් ත්‍රාසය සපිරිව ගොඩනංවා තිබෙනවා. ඒ සියල්ලක්ම අතරේ කපිල් දේව් නම් ඒ පූර්වාදර්ශී චරිතය විසින් එදා පෑ පෙළහර අද පරම්පරාවට වඩාත් දැනෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම අගයන්නටම ඕන. කපිල් දේව් ගේ පරම්පරාවේ සමකාලීන ප්‍රේක්ෂකයින්ටත් එදා කපිල් දේව් ගේ විස්මිත ලෝක වාර්තා ඉනිම රූපවාහිනියෙන්වත් නරඹන්නට ඉඩක් ලැබුණේ නෑ. වාසනාව ලැබුණේ ක්‍රීඩාංගණයේ සිටි සීමිත පිරිසකට පමණයි. ඔන්න දැන් ඒ අවස්ථාව සැබෑ ලෙසින්ම අත්විඳින්නටත් මේ ඔස්සේ අවස්ථාවක් ලැබෙනවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට ඒ කාරණාව නිසාම මේ චිත්‍රපටය වෙනුවෙන් පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා.

***************************************************

Kabir Khan

Directed by
Kabir Khan

Written by
Kabir Khan
Sanjay Puran Singh Chauhan
Vasan Bala

Dialogues by
Kabir Khan
Sumit Arora

Produced by
Deepika Padukone
Kabir Khan
Vishnu Vardhan Induri
Sajid Nadiadwala

Starring
Ranveer Singh as Kapil Dev: the Indian Cricket Team captain at the 1983 Cricket World Cup
Deepika Padukone as Romi Bhatia, Kapil Dev’s wife
Pankaj Tripathi as PR Man Singh: Manager of the 1983 World Cup-winning Indian team
Tahir Raj Bhasin as Sunil Gavaskar
Jiiva as Krishnamachari Srikkanth
Saqib Saleem as Mohinder Amarnath
Jatin Sarna as Yashpal Sharma
Chirag Patil as Sandeep Patil
Dinker Sharma as Kirti Azad
Nishant Dahiya as Roger Binny
Harrdy Sandhu as Madan Lal
Sahil Khattar as Syed Kirmani
Ammy Virk as Balwinder Sandhu
Adinath Kothare as Dilip Vengsarkar
Dhairya Karwa as Ravi Shastri
R Badree as Sunil Valson
Neena Gupta as Raj Kumari Nikhanj, Kapil’s mother
Boman Irani as Farokh Engineer

Cinematography
Aseem Mishra

Music by
Score:
Julius Packiam
Songs:
Pritam

Country
India

Language
Hindi

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *