127 Hours (2010) English | Sinhala Article

127 Hours (2010) English by  Chamara Hewawithana

?ජීවිතයක් වෙනස් කල පැය 127 ක්

———————————————

Aron Ralston ..

අතිශය ක්‍රියාශීලි ඇමෙරිකානු යොවුන් තරුණයෙක් .. ඔහු තම ජීවිතයේ අන් සියල්ලටම වඩා ප්‍රමුඛතාවක් දුන් දෙයක් වේ නම් ඒ තමයි ‘කදු තරණය’ ?

ඉතින් මේ තරුණයා 2003 වසරේදී Utah හී පිහිටි ‘CanyonLands National Park’ හී සංචාරයක යෙදෙනා අතර එය ඔහුගේ මුළු ජීවිතයම වෙනතකට හරවනා සිදුවීමක් බවට පත්වන්නේ ඉතාමත් අනපේක්ෂිත අයුරින් … ස්වභාවයෙන්ම දැඩි අනතුරු සහිත කදු බෑවුම් හා ප්‍රපාතයන්ගෙන් සමන්විත අන්තරාදායක ප්‍රදේශයක් වන මෙහි තනිවම සංචාරය ඉතා අවදානම් කටයුත්තක් වන අතර Aron විසින් එය සිදුකරන්නේ කිසිවෙකුටත් නොදන්වායි ..

විටෙක එම ප්‍රදේශය තුල සිය පාපැදියෙන් ද තවත් විටෙක පා ගමනින්ද තම සංචාරය සිදුකරනා Aron සිටින්නේ සැබැවින්ම කුල්මත් වූ සතුටුදායක හැගීමකින් .. නමුත් ඔහුගේ එම සතුට වැඩි වෙලාවක් යන්නට මත්තෙන්ම දුක්ඛාන්තයක් බවට පත්වන්නේ ‘BlueJohn Canyon’ නම් ප්‍රදේශය තුල පිහිටි පටු හා ගැඹුරු අගල් විශේෂයක් වූ ‘Slot Canyon’ එකක් තුලට ඔහුව ඇදවැටීමත් සමගයි …

වැඩි වේලාවක් යන්නට මත්තෙන්ම එම හදිසි අනතුර ඔහුගේ ජීවිතයට මරු පහරක් බවට පත්වන්නේ ඔහුගේ ඇදවැටීමත් සමගම අගාධයේ පතුලට රූටා ආ ‘boulder’ නමින් හැදින්වෙන තරමක් විශාල ගල් කුට්ටියකට ඔහුගේ දකුණු අත හසුවීමත් සමගයි .. ගල් කුට්ටිය ඉවත් කර තම දකුණු අත මුදාගැනීමට ඔහු දරනා සියළුම උත්සහයන් ව්‍යාර්ථ වන්නේ විශාල බරකින් යුතු එම ගල් කුට්ටිය එක් දශමයක් හෝ නොසෙල්වී අගාධයේ දෙපස ගල් බිත්ති වලට දැඩිව සිරවී තිබීම නිසයි …

එම සිදුවීමත් සමගින් තමන් දැඩි ව්‍යසනයකට මුහුණ පා සිටිනා බව Aron හට එක් ක්ෂණයෙන් වැටහී යනවා .. මිනිස් පුළුටක් නොමැති කෙළවරක් නොපෙනෙන අති විශාල Canyon භූමියේ හි සිරවී සිටිනා Aron Ralston හට මෙතැනින් පසු කුමක් සිදුවේද ?

ඔහුගේ ජීවිතය ?

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

? #127_Hours

ඉතින් මේ අප්‍රතිහත කදු නගින්නා Aron Ralston ට මුහුණපෑමට සිදුවූ එම අනපේක්ෂිත සිදුවීම අළලා සිනමාපටයක් නිර්මාණය වනවා 127 Hours යන නමින් .. 2010 වසරේදී තිරගත වූ මෙම හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය සිනමා අධ්‍යක්ෂක Danny Boyle විසින් ..

මෙහි ප්‍රධාන චරිතය වන Aron Ralston ට පණ පෙවීමේ වගකීම පැවරෙන්නේ ඇමෙරිකානු රංගන ශිල්පී James Franco වෙතයි .. Aron Ralston විසින්ම රචනා කරන ලද ‘Between a Rock & a Hard Place’ කෘතිය ඇසුරින් නිර්මාණය වූ මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂක ලෙස ප්‍රවීණ ඉන්දියානු සංගීතවේදී AR Rahman කටයුතු කිරීමත් විශේෂත්වයක් ..

83 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අනුවර්තිත තිර පිටපත, හොඳම සංගීත නිර්මාණය ඇතුළු සම්මාන 06 කට නිර්දේශ වන්නට සමත්වූ මෙම චිත්‍රපටය ලොව පුරා සම්මාන උළෙලවල් හීදී මුළු සම්මාන 106 කට නිර්දේශ වී ඉන් සම්මාන 13 ක් දිනාගැනීමට සමත්වූවා ..

කෙසේ නමුත් අගාධයක් තුල සිරවී සිටිනා මිනිසෙකුගේ දර්ශනයක් දෙස පැය එක හමාරක් බලා සිටින්නේ කෙසේද ? එය සමහරක් විටෙක ඔබේ සිතට නැගෙනා ප්‍රශ්නයක් විය හැකි නමුත් මෙය නැරඹීමට පටන්ගත් පසු එම සිතුවිල්ල නොවෙනස් වනවා නොඅනුමානයි .. මන්ද මෙය එතරම්ම කුතුහලය දනවනා සිනමාපටයක් වීම එයට හේතුවයි ..

#Distributed – by Fox Searchlight

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

Synopsis ? SPOILER ALERT

තමන් කිසිමදාක අපේක්ෂා නොකල ගැටළුවකට ඔහු දැන් මුහුණ පා අවසන් .. දැන් ඔහු කල යුත්තේ කුමක්ද ? මෙවැනි අවස්ථාවකට මුහුණ පානා ඕනෑම පුද්ගලයෙකු මුලින්ම අනුගමනය කිරීමට පෙළඹෙනා කටයුත්තට ඔහුද සැරසෙයි .. එනම් කෙසේ හෝ තමන්ගේ දකුණු අත සිරවී තිබෙනා ගල් කුට්ටිය ඉවත් කිරීමයි .. නමුත් එය ව්‍යාර්ථ වූ තැන ඔහු සිදුකරන්නේ කුමක්ද ?

කුමක් සිදුකිරීමටත් පෙර මනස සැහැල්ලු කරගත යුතුය .. ඔහු සන්සුන්ව සිතා බලයි .. කාත් කවුරුත් නොමැතිව සිරවී සිටිනා ඔහුට දිස්වන්නේ ඉහලින් තිබෙනා නිල් අහස පමණකි .. තම කුඩා පිහිය අතට ගන්නා ඔහු ගල් කුට්ටිය කඩතොළු කිරීමට උත්සාහ කරයි … නමුත් එයද තවත් එක් අසාර්ථක උත්සහයක් පමණක් බවට පත්වෙයි …

ඔහුට ඒ වනවිට ඇති එකම සැනසීමට කරුණ වන්නේ ඔහුගේ ගමන්මල්ල ඔහු සමග තිබීම පමණකි .. එහි ඇති සීමිත ප්‍රමාණයක් වූ ජලය සහ කෑම මේ වනවිටත් ඔහුගේ ජීවිතය රැකගැනීම පිළිබදව තීරණාත්මක කරුණු කාරණා බවට පත්වී අවසානය ..

මිනිසෙකුට සිටගෙන සිටීමට පවා අසීරු ඉරියව්වකින් ඔහු රැය පහන් කරයි .. නමුදු නින්ද පවා ඔහු වෙත ඇති කරන්නේ කරදරකාරි හැගීමක් .. රැය පහන්වී හිමිදිරි උදෑසන එළබෙත්ම Canyon තීරය වටා පැතිරෙනා හිරු රශ්මිය ඔහුගේ විඩාබර සිතට මෙන්ම ගතටද ඇති කරන්නේ සැනසීමක් … ඔහු හිරු එළියේ පහස තමන්ට හැකි අයුරින් විදගනියි .. තමන්ට ඉහලින් දෘශ්‍යමාන වන නිල් පැහැති අහස් කුස, නිදහස් ලෝකය, ඒ තුල නිදහසේ සැරිසරනා Raven පක්ශීන් දෙස ඔහු බලා සිටින්නේ බලාපොරොත්තු පිරි දෑසින් …

චිත්ත ධෛර්‍යය වඩවා ගැනීම මේ වනවිට ඔහු සතුව ඇති ප්‍රධානම අභියෝගය වූවත්, ඔහු ඒ සදහා හොදින් මුහුණ දුන්නත් මරණය සිය දෑස් ඉදිරියේ පෙනි පෙනී සිටිනා පුද්ගලයෙකු ඕනෑම අවස්ථාවකදී මනසින් කඩා වැටිය හැක .. Aron ඔහුගේම මනෝ විකාරයන් තුල ගිලෙයි .. ඔහුගේ කුඩා කාලය මෙන්ම මව්පියන්, මිතුරන්, පෙම්වතිය ඔහුගේ සිතුවිලි තුල හොල්මන් කරයි … විටෙක කල යුත්තේ කුමක්දැයි කල්පනා කරනා ඔහු විටෙක තමන් සමගම කතා කරයි .. ස්වයං වින්දනයේ යෙදෙයි .. ඒ සියල්ලෙන්ම ඔහුගේ අවුල් වූ මනසට සැහැල්ලුවක් එක් කරයි ..

තවත් විටෙක සිය ජීවිතය පිළිබද ආශාව ඔහු අත්හැර දමයි … පසෙකින් පිහිටි විශාල කළු පර්වතයේ තමන්ටම නිවන් සුව පතා ‘RIP Aron Ralston’ යනුවෙන් ලියා තබයි … දින ගණනාවක් පුරාවටම සිරවූ අතකුත් සමග මරණය සමග පොරබදනා මිනිසෙකු වෙන කුමක් සිතන්නද ? නමුත් මරණය ඔහු සිතනා ඉක්මනින් ඔහු වෙත පැමිණෙන්නේ ද නැත ..

විනාඩියෙන් විනාඩිය ඔහු සිතින් මෙන්ම ගතින්ද විඩාබර වීමට පටන් ගනියි .. බීමට තිබූ ජලය අවසන් වීමෙන් පසු නොමැරී ජීවත් වීමට තම මුත්‍රා පවා පානය කිරීමට ඔහුට සිදුවෙයි … මේ සියල්ලම අතර කඹ උපයෝගී කරගනිමින් ඔහුගේ අවාසනාවේ ගල් කුට්ටිය ඉවත් කිරීමට ඔහු දරනා අවසන් උත්සහයත් ව්‍යාර්ථ වීමෙන් පසු පැහැදිලිවම සිය ජීවිතය පිළිබද තීරණයක් ගැනීමට ඔහුට සිදුවෙයි …

ඔහුට ඉතිරිව ඇති අවසන් ගැලවීමේ මාර්ගය ..

ඒ වනවිටත් කළු පැහැ ගැන්වීමට පටන්ගෙන ඇති සිරවී තිබෙනා තම දකුණු අත කපා දැමීමයි .. සාමාන්‍ය සිහියකින් සිටිනා අයෙකුට කිරීමට තබා සිහි කිරීමටවත් අපහසු එම ක්‍රියාව තම ජීවිතය බේරාගැනීම උදෙසා ඔහු සිදුකරයි … අවසානයේ දෑතම සමගින් Canyon බිම තරණයට පැමිණි Aron Ralston ට එක් අතක් සහිතව පමණක් යලිත් යෑමට සිදුවෙයි … මේ සියල්ලෙන්ම පසුවත් ඔහු කදු තරණයට තමාගේ ඇති ආශාව කිසිසේත් අත් නොහරින්නේ ලොව කිසිදු බලපෑමකට තමන්ව නවතාලිය නොහැකි බව පෙන්නුම් කරමින් …

127 HOURS – Full Length Official Trailer

Download
Subtitle Download

චාමර හේවාවිතාරණ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *